ලිඳුල සභාපති තේරීමේ නිලවරණයට අතුරු තහනමක්
තලවකැලේ, ලිඳුල නගර සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ නිළවරණය පැවැත්වීම වළක්වාළමින් කොළඹ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත.
අද (30) අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා සිය ධුරයෙන් සහ නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර පසුව හිස් වූ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු තොරා පත්කර ගැනීමේ නිළවරණය එම නගර සභා ශාලාවේදී මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (31) දින පැවැත්වීමට නියමිතව තිබුණි.
හිස් වු නාගරික මන්ත්‍රී ධුරයට නව මන්ත්‍රීවරයෙකු පත්නොකර නිළවරණය පැවැත්වීම හිටපු සභාපතිවරයා තේරීපත් වු ස්වාධින කණ්ඩායමට අසාධාරණයක් සිදුවන බව අශෝක සේපාල මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
හිටපු සභාපතිවරයා අදාළ පෙත්සමෙන් ඉල්ලා සිටියේ තම කණ්ඩායමේ නාගරික මන්ත්‍රීවරයෙකු එම සභාවට පත්කරන තෙක් නව සභාපතිවරයෙකු තෝරා පත්කරගැනීමේ නිළවරණය නොපවත්වන ලෙසට අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටය.
පෙත්සම පිළිබඳව සලකාබැලු අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙපළ විසින් එම අතුරුතහනම් නියෝගය මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට සහ තලවකැලේ ලිඳුල නගර සභාවේ ලේකම්වරයාට අදාළ නියෝගය අද(30) දින නිකුත් කර තිබේ.