විශේෂාංග

ඔන්ලයින් අනංගයන්ගෙනුත් ලිංගික රෝග බෝ වෙන්න පුළුවන්

කතාව ඔබට කියන්නට පහසු වීම තකා මම ඇයව තරුෂි නමින් හඳුන්වමි. දාහතර හැවිරිදි තරුෂි සුප්‍රකට වූත්, ධනවත් වූත් ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි.

පොතපතේ වැඩටත්, ක්‍රීඩාවලටත් එක සේ දක්ෂ ඇය ඒවායින් කෙමෙන් කෙමෙන් ඈත් වෙන්නට පටන්ගත්තේ දහහතරවැනි උපන්දිනයට පියාගෙන් ලැබුණු ජංගම දුරකතනය නිසාය. තරුෂිට ෆේස්බුක් හරහා තිමිර හමුවන්නේද ඔය අතරය. ඔන්ලයින් පණිවිඩ හුවමාරුවෙන් ආරම්භ වූ පෙම් සබඳතාවය වීඩියෝ ඇමතුම් දක්වා දික්ගැස්සීමට වැඩි දිනක් ගතවූයේ නැත.

ඒ කතා කරන හැම මොහොතකම ඔහු ඇයට කීවේ ‘‘මට ඔයාගේ මූණ නොබලා ඉන්න බැහැමම තරම් මේ ලෝකේ කවුරුත් ඔයාට ආදරේ නැහැමම ඔයාව මලක් වගේ බලාගන්නවා…’’ වැනි පැණි බේරෙන රස කතාය. තිමිරගේ ආදරණීය කතා තරුෂිගේ කනට මී පැණිවලටත් වඩා රහට දැනුණාය. මෙතරම් ප්‍රේමණීය ආදරවන්තයෙකු ලැබීමේ සතුටට ඈ විටෙක තනිව හිනැහුණාය.

‘‘මට ඔයාව ඇත්තටම මුණගැහිලා කතා කරන්න ආසයි.’’

තිමිර තරුෂිව මුණගැසීමට අවශ්‍ය බව පැවසු​වේ පෙම් පලහිලව්වට මාස දෙකක්වත් ගතවීමට පෙරාතුවය.

පාසලටත් අමතර පංතිවලටත් තරුෂිව ඇරලවූයේ ඇගේ පියායි. ඒ නිසා හමුවීම දවසින් දවස කල්දැමීමට තරුෂිට සිදුවිය.

‘‘හැමදාම මේක මෙහෙම කරන්න බැහැනේ. ඔයාට මාව හම්බවෙන්න එන්න බැරිනම් කියන්න. අපි මේ සම්බන්ධය නවත්තමු.’’ තිමිර පැවසූයේ තරමක් විස්සෝපයෙන්ය.

තිමිරගේ වටිනා ආදරය වෙනත් තරුණියකට හිමිවේ යැයි සිතූ තරුෂි පියා අමතර පංතියට ඇරලවා ගිය පසු පංතියට නොයා හෝ තිමිර මුණගැසීමට තීරණය කළාය.

තමා දුරකතන වීඩියෝවලින් දුටු තිමිරට වඩා ඒ පුද්ගලයා වැඩිමහල් බව ඇය දුටුවේ ඔහු පැමිණි සිටි ත්‍රීවිලර් රථයට ගොඩවූවාටත් පසුවය. ඔහු වෙතින් පලායාමට උත්සාහ කළත් ගොදුර ඩැහැගෙන මිසක් නතර නොවූ ඔහු නැවතත් ඇයව පංතිය අසලට ගෙන හැරලූයේ පැය දෙක තුනකට පසුය. ඔහු වීඩියෝ ඇමතුම් ගෙන ඇත්තේ මුහුණු යෙදවුමක් (Face App) යොදා බව ඈ තේරුම්ගන්නා විටත් සියල්ල සිදුවී හමාරව තිබුණාය.

මේ කිසිත් නොදන්නා ඇගේ දෙමාපියන් ඇයව මුලින්ම යොමුකර තිබුණේ මනෝ වෛද්‍යවරයෙකු වෙතය. ඒ ඇයට ඇතිව තිබූ විශාදය තත්ත්වයට ප්‍රතිකාර ගැනීමටය. එහිදී හෙළි වූ කරුණු කාරණාවලට අනුවය ඇයව ලිංගාශ්‍රිත සායනය වෙත යොමු කරන ලද්දේ. ඒ වනවිටත් සයමස් ගැබිනියක් වූ ඇයට ගොනොරියාව නම් රෝගයද වැළඳී තිබිණි.

මෙය ඔන්ලයින් පෙම් සබඳතා නිසා දහවල් වළේ වැටුණු එක් තරුණිකයගේ කතාවක් පමණි. වෛද්‍ය ජීවිතයේදී දුටු මෙවන් සත්‍ය සිදුවීම් හිසේ කෙස් ගාණට උදාහරණ ලෙස පැවසීමට හැකිවීම කණගාටුදායකය.

බොහෝවිට මේ ඔන්ලයින් අනංගයන්ගේ ඉලක්කය යොමුවන්නේ මැදිවයස් ගතකරන විවාහක කාන්තාවන් සහ 9, 10, 11 වැනි වසරවල පාසල් දරුවන් වෙතයි. ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජනප්‍රිය වීමට පෙරාතුව මිස් කෝල් (Missed Call) හරහා කාන්තාවන් ලිංගික සබඳතාවලට පොළඹවාගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර, සමාජ මාධ්‍යවල ජනප්‍රියත්වය සමඟ පෙරට වඩා අන්තර්ජාල ලිංගික අපචාරවල පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ.

ඔන්ලයින් ක්‍රමයට ‘කැෂුවල් සෙක්ස්’ නැතහොත් ස්ථිර නොවන ලිංගික සහකරුවන්, සහකාරියන් සොයා යන බොහෝ පුද්ගලයන් මානසික ගැටලු සහිත මත්ද්‍රව්‍ය භාවිත කරන නැතහොත් ලිංගික සහකරුවෙකු සොයගැනීමට බැරිතරමේ ශරීර විකෘතිතාවක් හෝ වෙනත් ගැටලුවක් ඇති අයවලුන්ය. එක් සහකරුවෙකුට සීමා නොවන එවැන්නෙකු ලිංගාශ්‍රිත රෝගයකින් පීඩා විඳින්නෙකු වීමට ඇති ප්‍රවණතාවය ඉහළය.

තරුණියන් කිහිපදෙනෙකුට එකවර කෙටි පණිවිඩ යැවීම අන්තර්ජාල ලිංගික අපචාර සඳහා කාන්තාවන් ගොදුරු කරගන්නවුන්ගේ පළමු පියවරයි. එයින් පිළිතුරු ලැබෙන ගිණුම් තෝරාගෙන එම තරුණියන් සමඟ උපක්‍රමශීලීව කුළුපග වී ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝපට ගෙන්වාගැනීම ඇතැමුන්ගේ එක් කූඨෝපායකි. පසුව සිදුවන්නේ ඒවා සමාජ මාධ්‍යවල හෝ පවුලේ නෑ හිතවතුන් අතර ප්‍රසිද්ධ කරනා බවට තර්ජනය කර අදාළ කාන්තාව ලිංගික කාර්යයකට පොළඹවාගැනීම හෝ මුදල් කප්පම් ලබාගැනීමයි.

නිරුවත් ඡායාරූප හුවමාරු කරගැනීම නිසා මෙවන් තර්ජන නීතිය ඉදිරියට ගෙන යාමට බියවන ඇතැම් කාන්තාවන් මෙවැනි පුද්ගලයන්ගේ දැල්වලට පහුසුවෙන්ම හසුවේ. පාසල් යන දුවා දරුවන්ට ගැටලු නිරාකරණයට ඇති ජීවන කුසලාතාවය මඳ හෙයින් ඔවුන්ද ඉතා පහසුවෙන් මෙවන් පුද්ගලයන්ට ගොදුරු වෙයි. ඊට අමතරව යොවුන් වියේදී ඇතිවන ලිංගික හැඟීම් පාලනයට නොදන්නාකම නිසා ඇතැම් තරුණ දරුවන් ස්වකැමැත්තෙන්ම මෙවන් දේට එකඟ වෙති.

ඔන්ලයින් හරහා හමුවන සහකරුවන් සමඟ පවත්වන ලිංගික සබඳතා හේතුවෙන් උපදංශය, සුදු බිංදුම, හර්පීස්, HIV, ලිංගික ඉන්නන්, සිෆිලස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මෙන්ම ගැබ්ගෙළ පිළිකා, ශිෂ්ණ පිළිකා පවා ඇති විය හැකිය. විවාහක කාන්තාවක් නම් එම රෝග ඇගේ සැමියාට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති බවද කිව යුතුය.

ඔන්ලයින් අනංගයින්ගේ ඉලක්කය වන්නේ ආර්ථික ගැටලු සහිත පවුල්වල දරුවන් පමණක් යැයි වැරදි වැටහීමක් සමාජය තුළ ඇත. එහෙත් දරුවන් වෙනුවෙන් කාලය වැය කිරීමට අපහසු කාර්යබහුල දෙමාපියන් සිටිනා ආර්ථික අතින් සවිමත් පවුල්වල දරු දැරියන්ද මෙවන් දෙයට ඉතා පහසුවෙන් ගොදුරු වන බව අත්දැකීමෙන් දැක ඇත්තෙමි. ඒ නිසා මවක පියෙකු ලෙස නිතර දරුවන් වෙනුවෙන් කාලය යෙදවීම වැදගත්ය. එසේම ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නිතර වන දුවා දරුවන්ට මෙවන් දේ හි බරපතළකම පිළිබඳව නිසි ලෙස දැනුවත් කිරීම දෙමාපිය වැඩිහිටියන්ගේ යුතුකමයි.

ඔන්ලයින් හරහා හඳුනාගන්න අයෙකු විසින් ඔබගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝපටයක් ඉල්ලූවිට කළ හැකි හොඳම දේ එම පුද්ගලයාට ඔබ සමඟ සම්බන්ධවීමට ඇති සියලු මාර්ග අවහිර කිරීමයි. ඔබට සැබවින් ආදරය කරනා තැනැත්තෙකු මාසයක් දෙකක් කතා කළ පමණින් නිරුවත් ඡායාරූප ​නොඉල්ලන බවත් ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බවත් බුද්ධිමත්ව සිතා බැලීම වඩා හොඳය. නැතහොත් ප්‍රතිපත්තියක් ලෙස ඔබ එවන් දෙයට අකමැති බව ඍජු ලෙස පැවසීමටත් ඔබට හැකිය. එසේ කිරීමටත් අපහසුනම් අඩුතරමේ මුහුණ​ නොපෙනෙන අයුරින් ඡායරූප යැවීමටවත් කාන්තාවක ලෙස ඔබ බුද්ධිමත් විය යුතුය.

විශ්වාසවන්ත ලිංගික සහකරුවෙකු සමඟ හැර සිදුවන ඕනෑම ලිංගික සබඳතාවයක යම් අවධානමක් තිබෙන බව මා අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

තමාගේ ශරීරයේ වගකීම හිමිවන්නේ තමාටය. එවැනි සබඳතාවයක වගකීම ගැනීමට ඔබ සූදානම් නැතිනම් ඔබ කළ යුතු හොඳම දේ ඍජුවම එයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි.

මෙවන් අන්තර්ජාල තර්ජනයකට හෝ අපචාරයකට ලක්වන්නේ නම් නිහඬව ඒවාට ඉඩ නොදී ළඟම ඇති පොලිස් ස්ථානයේ අන්තර්ජාල අපරාධ අංශයේ පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට නැතහොත් කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි කිරීමට ඔබට හැකියාව ඇත.

අද කතාවට පාදක වූ දියණියව අතරවරයට ලක්කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් අවසානයේදී සටහන් කළ යුතුය. දියණියගේ ලිංගාශ්‍රිත රෝගය නිට්ටාවටම සුව කළ අතර, ඇයට බිහි වූ දරුවා නීත්‍යානුකූලව හදාවඩා ගැනීමට ලබාදුන් බව පසුව දැනගන්නට ලැබිනි. කරුණු කාරණා එසේ වුවත් ජීවිත කාලය පුරාවට ඒ සිදුවීම ඇගේ අඳුරු මතකයන් අතර රැඳෙන්නට ඉඩ ඇතැයි මම සිතමි.

සෙව්වන්දි හෙට්ටිආරච්චි