Latest News

හමුදා කඳවුරුවලින් හට්ටිමුට්ටි හොරකම් කරන අයට දඩුවම් කරනවා කියලා එල්.ටී.ටී.ඊ එකෙන් කිව්වා

මුලතිව් උපන් ශකිලා කුඩාකල පටන් ක්‍රීඩාවට, අධ්‍යාපනයට, කලාවට දක්ෂ තැනැත්තියක වූවාය.
සා.පෙළ විභාගය උසස් ලෙස සමත් වුවද පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් උසස් පෙළ අධ්‍යාපනය
අතරමග නතර කර ඈ ඊළාම් අධිකරණයේ රැකියාවකට යන්නීය. අධිකරණයේ උසස්වීමක් ලැබ යාපනයේ
ඊළාම් අධිකරණ මූලස්ථානයේ පුහුණුවට යන ශකිලා රජයේ හෙදි පුහුණු පාඨමාලාව සඳහා යාපනයේ
හෙද විදුහලට ඇතුළත් වන්නීය. මේ අතර එල්.ටී.ටී.ඊ. පාලනයේ තිබූ යාපනය අර්ධද්වීපය අත්පත්කරගැනීම
සඳහා යුද හමුදාව විසින් ‘රිවිරැස’ මෙහෙයුම ආරම්භ කළෝය. එහිදී සියල්ල අත්හැර යාපනයේ සිට
පුදුකුඩිරිප්පු නිවසට යන ශකිලා එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ඒකකයට මාධ්‍යවේදිනියක ලෙස එක්වන්නීය. අද
එතැන් සිට…
“මුලින්ම මම එල්.ටී.ටී.ඊ. ගුවන් විදුලිය ඒ කියන්නේ පුලියන්කුරල්
වාර්තාකාරියක් විදියට තමයි එකතු වුණේ. ටික දවසක් යද්දි ම​ගේ ලිවීමේ
හැකියාව දැකලා එයාලගේ පත්තරේටත් ලියන්න කියලා කිව්වා. එල්.ටී.ටී.ඊ.
සංවිධානයේ නිල පුවත්පත වුණේ ඊළනාදන්. පුලියන්කුරල් (VOT) ගුවන්
විදුලියයි, ඊළනාදන් පුවත්පතයි දෙකම තිබුණේ යාපනයේ. ඒත් රිවිරැස
මෙහෙයුම වෙලා​වේ මේ දෙකේම උපකරණ ගලවගෙන පුදුකුඩිරිප්පුවලටයි
කිළිනොච්චියටයි ගෙනාවා. එතැන ඉඳලා ඊළනාදන් පුවත්පතටයි පුලියන්කුරල්
ගුවන්විදුලියටයි දෙකටම ප්‍රවෘත්ති සැපයුවා.”
මේ අතර යාපනය අහිමිවීමෙන් ලද පරාජය නිසා කොටි නායක ප්‍රභාකරන් මහත් සේ ඉච්ඡාභංගත්වයට
පත්ව සිටියේය. එහිදී ඔහු දෙමළ ජනතාව මෙන්ම ජාත්‍යන්තරයට මෙසේ කියා සිටියේය.

“ශ්‍රී ලංකා යුද හමුදාව යාපනය අල්ලාගැනීමට කළ සටනේදී ඔවුන්ගේ මානව
හා භෞතික සම්පත් ඔරොත්තු නොදන මට්ටමින් වැය වුණා. සෙබළුන් විශාල
ගණනක් යොදවා භූමිය අත්පත් කරගැනීම අසීරු දෙයක් නොවෙයි. නමුත්
අල්ලාගන්නා ලද භුමිය රැකගැනීම අසීරුයි. ලෝකයේ සෑම ආක්‍රමණික
හමුදාවක්ම ලැබූ පොදු අත්දැකීම එයයි. ශ්‍රී ලංකා යුද හමුදාවත් මේ
ඓතිහාසික යථාර්ථය නොබෝ කලකින්ම ඉගෙනගනු ඇත.”
වචනයෙන් ප්‍රකාශ කළ දෙය ක්‍රියාවෙන් කිරීමට ප්‍රභාකරන් උත්සුක විය. යාපන පරාජයේ වේදනාව
පිට කිරීමට අවස්ථාවක් සෙවූ ප්‍රභාකරන්ගේ ඉලක්කයට මුලින්ම හසුවන්නේ මුලතිව් යුද හමුදා කඳවුරයි.
මුලතිව් යුද හමුදා කඳවුර නැගෙනහිර වෙරළ තීරයේ හුදකලා කඳවුරක් ලෙස පිහිටා තිබුණි. මුලතිව්
නගරයේ රජයේ ගොඩනැගිලි හා පෞද්ගලික ගොඩනැගිලි රාශියක් මුලතිව් කඳවුරු සීමාවේ පිහිටා
තිබුණි. ඒ අනුව යුද හමුදාවේ 25 බලසේනා මූලස්ථානය ද මුලතිව්හි පිහිටා තිබුණි. එහි රාජකාරි කළ
නිලධාරීන් හා සෙබළුන් සංඛ්‍යාව 1500ක් පමණ වූහ. යාපනය පරාජයෙන් වන්නි කැලෑවට කොටු වූ
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පහසු ඉලක්කයක් බවට මුලතිව් කඳවුර පත්ව තිබුණි. මේ තත්ත්වය පිළිබඳව යුද
හමුදාවේ ඉහළ නිලධාරීන්ටද ඉව වැටී තිබුණු අතර යුද හමුදා කඳවුර ඉවත් කිරීමට ඒ වනවිටත් යෝජනා
වී තිබුණි. නමුත් විවිධ හේතු මත මුලතිව් කඳවුර ඉවත් කිරීම සිදුවූයේ නැත.
මේ අතර යාපනය පරාජයෙන් මාස 2ක් ගතවනවිට එනම් 1996 ජූලි 18 දින අලුයම 1.00ට පමණ දැවැන්ත
ප්‍රහාරයක් එල්ල කරමින් එල්.ටී.ටී.ඊ.ය විසින් මුලතිව් කඳවුර අක්‍රමණය කළෝය. මුලතිව් කඳවුර වටා
ආරක්ෂක වැටවල් කීපයක් තිබුණ ද එක් ස්ථානයකට දැවන්ත ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීහු
හිදැසක් සාදා ගැනීමෙන් පසු කඳවුරු බිමට ඇතුළු වී තිබුණි. (පසු කාලයේ කළ විමර්ෂණයකහිදී හෙළිවූයේ
ප්‍රහාරය එල්ලවීමට පෙර ත්‍රස්ත කණ්ඩායමක් කඳවුර තුළට ඇතුළු වී සිටි බවයි.) කඳවුර තුළට
ත්‍රස්තවාදීන් ඇතුළුවීමෙන් පසු එහි සිටි යුද හමුදා සාමාජිකයන්ට කරකියාගත හැකි දෙයක් නැති විය.
ආසන්නතම හමුඳා කඳවුරු කිලෝමීටර 30 පමණ දුරකින් පිහිටි බැවින් ආධාරක භටපිරිස්වලට ඉක්මණින්
පැමිණීමටද හැකියාවක් තිබුණේ නැත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ හුදකලා සටනක නිරත වූ කඳවුරේ
සෙබළුන් සමූල ඝාතනය වීමයි. එහි සිටි 10-15 පිරිසක් දුෂ්කර ගමනකින් පසුව කලපු, කැලෑ තරණය කර
කොක්කුතුඩුවායි හමුදා කඳවුර වෙත පැමිණ තිබුණේ කඳවුර විනාශ වී සති දෙකකට පමණ පසුවය.
කෙසේ නමුත් මුලතිව් ප්‍රහාරය එල්ල වනවිට ශකිලා මාධ්‍යවේදිනියකි. එමෙන්ම ප්‍රහාරයෙන් පසුව
මුලතිව් ප්‍රහාරයේ වීඩියෝ දර්ශන හා ඡායාරූප රැසක් එල්.ටී.ටී.ඊ.ය විසින් ජාත්‍යන්තරය වෙත මුදා
හැරියෝය. එම අවස්ථාවේදී ශකිලාගේ මාධ්‍ය රාජකාරිය පිළිබඳව ‘ධරණී’ විමසීය.
“මම එතකොට වැඩ කළේ ඊළාම් රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනවල. ඒ
තැන්වල වැටුපට වැඩ කරන සාමාන්‍ය ජනතාව තමයි හිටියේ. දෙපාර්ශවය
අතර ගැටුම්වල දර්ශන, ඡායාරූප ගත්තේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ මාධ්‍ය
ඒකකවල අය. හැබැයි මුලතිව් සටන පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා ප්‍රචාරණ
වැඩට මම සම්බන්ධ වුණා. සටන පටන්ගත්තට පස්සෙ ලංකාවට වඩා උනන්දු
වුණේ ජාත්‍යන්තර මාධ්‍ය වගේම විදේශ රටවල ඉන්න දෙමළ ජනතාව. මම ඒ

තොරතුරු ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයේත් සැලකිය යුතු පිරිසක් මියගියා. ඒ
වගේම තුවාල වුණා. ඒ අය ගෙනාවේ මම හිටපු පුදුකුඩිරිප්පු ප්‍රදේශයට. ඒ
වගේම සටනට ට්‍රැක්ටර්වල, ලොරිවල නැගලා එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ ගියා.
ඒ නිසා පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පුදුම කලබලකාරීබවක් තිබුණේ.”

*එතකොට ශකිලා මුලතිව් කඳවුර බලන්න ගියේ නැතිද?
“මගේ මතකයේ හැටියට දවස් 3-4ක් වගේ යද්දි සටන ඉවර වුණා. ඒත්
එක්කම වගේ යුද හමුදාව පරන්තන් පැත්තෙන් ‘සත්ජය’ කියලා මෙහෙයුමක්
පටන්ගත්තා. ඒ මෙහෙයුමට මුහුණදෙන්න මුලතිව් ඉඳපු එල්.ටී.ටී.ඊ.
සාමාජිකයෝ මුලතිව්වලින් ඉවත් වුණා. සටන ඉවර වුණාම මමත් බලන්න
ගියා. එතකොට මම දැක්කේ හමුදා කඳවුරේ තිබුණ ඇඳවල්, මෙට්ට, පුටු,
මේස, උයන පිහින භාජන වගේ දේවල් සාමාන්‍ය වැසියෝ අරගෙන යනවා.
සමහරු අහුමුහුළුවල හොයාගන්න බැරිව තිබුණ යුද උපකරණත් අරගෙන
ගියා කියලා ආරංචි ලැබුණා. ඒ නිසා අපි මාධ්‍යයෙන් ප්‍රචාරයක් කළා යුද
උපකරණ තිබු​ණොත් දඬුවම් කරනවා, ඒවා ලැබිලා තිබුණොත් ළඟම තියෙන
එල්.ටී.ටී.ඊ. කඳවුරට භාරදෙන්න කියලා.”
ශකිලා යළි මුලතිව් පදිංචියට…
ලබන සතියට

සනත් ප්‍රියන්ත