ඔහු මිය ගියත් මම තවමත් ඔහු සමඟ නිදියහනට යනවා ටයිටැනික් තේමා ගීතය ගැයූ සෙලීන් ඩියෝන්
වරක් ෆෝර්බ්ස් සඟරාවට අනුව ලෝකයේ ධනවත්ම කාන්තාවන් දසදෙනා අතරට
ඇතුළත් වුණු කෙනෙක් තමයි සෙලීන් ඩියෝන් කියන්නේ. ලෝකයේ සංගීත
දර්ශකවල මුල් ස්ථාන බොහෝමයක් තමා සතු කරගත් ටයිටැනික් චිත්‍රපටයේ
තේමා ගීතය වන 'My heart will go on' කියන ගීතය ගායනා කළෙත් ඇයමයි.
ඇත්තටම කිව්වොත් ඇය බටහිර සංගීතයේ පුරාවෘත්තයක් බඳු තැනැත්තියක්.
එහෙම කෙනෙකුගේ ජීවිතයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්න තිබුණත්
ධනවත් බව නිසා ඒ ප්‍රශ්න නිරාකරණය කරගැනීම පහසුයි නේද? ඔබට එහෙම
හිතෙන්න පුළුවන්. නමුත් ඇගේ ජීවිතයට ආ සියලු ප්‍රශ්න මුදල්වලින් විසඳන්න
පුළුවන් වුණේ නෑ. ඒ වුණත් කිසිම දවසක ඇගේ ජීවිතය ආදරෙන් හිස් වුණෙත්
නෑ. අපි ඔබට සෙලීන් ඩියෝන් ගැන මේ කතාව කියන්නෙම ඒ නිසයි.
ඇය ඉපදුණේ කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයට අයත් ෂාර්ලමේන් කියන කුඩා
නගරයේ. දරුවන් 14 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වුණේ සෙලීන්. පවුලේ
බාලයා වුණාට ඇය ගත කළේ සුවපහසු ජීවිතයක් නම් නෙවෙයි. අඩුම තරමේ
පවුලේ සාමාජිකයන් ගණනට සෑහෙන ඉඩ පහසුකම්වත් ඇයගේ නිවසේ
තිබුණේ නැහැ.
“අපේ ගෙදර එකම ඇඳේ තුන් හතර දෙනෙක් විතර නිදාගත්තා. මටනම් කොහෙත්ම නිදන කාමරයක්
තිබුණේ නැහැ. නිදන කාමරවලට ඇතුළුවෙන්න කලින් පඩිපෙළ උඩ කුඩා ඉඩක් හමුවෙනවා. එතන තමයි
මම නිදාගත්තේ. ඉතින් හැමෝම නිදන කාමරවලට යනකොට මාව දකිනවා. ඒ නිසා හැමෝටම රාත්‍රිය
හා උදෑසන වෙනුවෙන් සුබ පතන්න මට පුළුවන් වුණා.”
සෙලීන් ඩියෝන් එක අවස්ථාවක මාධ්‍ය වෙත පවසා තිබුණේ එහෙමයි.
හැබැයි ඒ වගේ අගහිඟකම් තිබුණත් පුංචි කාලෙම සෙලීන්ට ඒ පවුලෙන් උරුම
වුණු ධනයකුත් තිබුණා. ඒ තමයි සංගීතය. පුංචි කාලෙ පටන්ම සෙලීන් ඩියෝන්ට
සංගීත විෂය ආගන්තුක එකක් වුණේ නැහැ. ඇයගේ දෙමව්පියන් ‘ඩියෝන්ස්
ෆැමිලි’ නමින් සංගීත කණ්ඩායමක් හදාගෙන කැනඩාව පුරා සංචාරය කළා.
පසුකලෙක ඔවුන් විවෘත කරපු පියානෝ බාර් එකේ පස් හැවිරිදි පුංචි සෙලීන්
ගීත ගායනා කළා. ඒ ඉදිරිපත් කිරීම් හරහා ඇය පාරිභෝගිකයන් සතුටට පත්
කළා.
කාලය ඒ විදියට ගතවෙද්දී වයස අවුරුදු දොළහේදී සෙලීන් සිය මව සමඟ එක්ව
ලියා තිබූ ගීතයක් පටිගත කළා. දියණියගේ ගායන හැකියාව ගැන හොඳ
අවබෝධයක් තිබූ සෙලීන්ගෙ මව එම කැසට් පටය, ප්‍රකට ප්‍රංශ ගායිකාවක් වූ
ජිනෙට් රෙනෝගේ වෘත්තිය කළමනාකරු වූ රෙනේ ඇන්ජලිල් වෙත යැව්වා.
ගීතය ඇසීමෙන් පසු රෙනේ ඇන්ජලිල් සෙලීන් ඩියෝන්ට තම දක්ෂතා පෙන්වීමට
පෞද්ගලිකව හමුවක් සූදානම් කරදුන්නා.
“මේ තියෙන්නේ ඔබේ මයික්‍රොෆෝනය. දැන් සියලු ආසන පිරී ගිය ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට ඉන්නවා
කියලා හිතාගෙන ගායනා කරන්න.”
මයික්‍රොෆෝනය ලෙස කුඩා පැන්සලක් අතට ලබා දෙමින් ඔහු දැරියට
අභියෝගයක් භාර දුන්නා. එදා පැන්සල් කොටයක් අතේ තියාගෙන කරපු එම
ගායනය නිසා පසුකාලීනව ඇයගේ ලොකුම රසිකයා බවට පත්වුණෙත් රෙනේ
ඇන්ජලිල්. ඒ වගේම ඔහු ඇයගේ කළමනාකරු බවටත් පත්වුණා. හැබැයි ඉතින්
තමන්ට වඩා අවුරුදු 26ක් වැඩිමල් රෙනේ ඇන්ජලිල් තම අනාගත සහකරු වේවි
කියලනම් සෙලීන් ඒ වෙලාවේ නිකමටවත් හිතන්න නැතුව ඇති.
කොහොමහරි සෙලීන්ගේ දක්ෂතාව ගැන හොඳ අවබෝධයක් තිබුණු රෙනේ
ඇන්ජලිල්, ඇයගේ වෘත්තිය කෙරෙහි පූර්ණ පාලනයක් ඔහුට ලැබෙන අන්දමේ
ගිවිසුමකට ඇය බඳවා ගත්තා. ඇයගේ කුළුදුල් සංගීත ඇල්බමය වූ 'La Voix du
bon Dieu' සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට රෙනේ ඇන්ජලිල් තම නිවස පවා
උකසට තැබුවා කියලා තමයි සඳහන් වෙන්නේ.
රෙනේ ඇන්ජලිල්ගේ කළමනාකාරීත්වය යටතේ වයස අවුරුදු 18 වනවිට සෙලීන්
ඩියෝන්ට ප්‍රංශ බසින් සංගීත ඇල්බම් 9ක් නිකුත් කරන්න පුළුවන් වුණා. ඒ
වනවිට ඇය ෆීලික්ස් සහ ජූනෝ සම්මාන පවා තම ගායන හැකියාව වෙනුවෙන්
දිනාගෙනයි හිටියේ. මේ සම්මාන ද්විත්වය කැනඩාව තුළ ග්රැමි සම්මානය තරමට
වැදගත්. ඒ වගේම 1990 දී ඇය නිකුත් කළ ප්‍රථම ඉංග්‍රීසි ඇල්බමය වූ 'Unison',
හි පිටපත් මිලියනයකටත් වඩා ලෝකය පුරා අලෙවි වුණා.
සෙලීන් ඩියෝන් ගායන ක්ෂේත්රය තුළ වඩාත්ම අවධානයට පාත්‍ර වුණේ 1992
වර්ෂයේදීයි. ඒ ඩිස්නි සමාගම නිපදවූ ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ සජීවිකරණ
චිත්‍රපටයේ තේමා ගීතය වෙනුවෙන් ඇය දායක වූ නිසායි. සම්මාන රැසක් දිනාගත්
මෙම ගීතය නිසා සෙලීන් ඩියෝන් සංගීත ක්ෂේත්රය තුළ ඉහළ ස්ථාවරත්වයක්
අත්කර ගත්තා. ඉන්පසු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය වූ 'My Heart Will Go
On' ගීතයට දායක වීමෙන් ඇය ලෝකය පුරා සදාදරණීය මතකයක් බවට පත්
වුණා.
‘ටයිටැනික්’ තේමා ගීතය හැරුණුකොට It’s All Coming Back to Me Now, Immortality,
That’s the Way It Is, A New Day Has Come, I’m Alive වැනි ඇයගේ බොහෝ ගීත ශ්‍රී
ලංකාවේත් අතිශයින් ජනප්‍රිය වුණා.
නමුත්, සාර්ථකත්වයේ හිනිපෙත්තේ සිටි අවස්ථාවල පවා ඇයට ජීවිතයේ ඉතාම
අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවුණා. එතුළින් ගීතවලටත් වඩා සුන්දර
ඇයගේ ජීවිතයේ ඇතුළාන්තය ගැන ලෝකයට දැනගන්නට ලැබුණා.
රෙනේ ඇන්ජලිල් සහ සෙලීන් ඩියෝන් අතර වසර 26ක පමණ පරතරයක් තිබුණු
අතර, එම සබඳතාවට සෙලීන්ගේ මව තම අනුමැතිය ලබා දුන්නේ නැහැ. ඒ
වුණත් ඔවුන් දෙපළ 1994 දෙසැම්බර් 17 වැනිදා විවාහ වුණා.
2001 ජනවාරි 25 වන දින සෙලීන්ට, රෙනේ ඇන්ජලිල්ට දාව පුතෙකු බිහිවුණා.
පසුකලෙක නිවුන් දරු උපතකටත් ඇය මුහුණ දුන්නා. මේ සියලු සතුටුදායක
කාරණා අතර ඇය නිතර අරගල කළ අඳුරු පැතිකඩකුත් තිබුණා. ඇයගේ සැමියා
උගුර ආශ්රිත පිළිකාවකට ගොදුරු වී ඇති බව 1999 දී අනාවරණය වීමයි ඒ.
'Let’s Talk About Love' ගීත ඇල්බමයට අදාළ ප්‍රසංග මාලාව පැවත්වෙන විටත්
ඇයගේ සැමියා පිළිකාව සමඟ සටන් කරමින් සිටි නිසා, මේ දැවැන්ත ප්‍රසංග
මාලාවේ වැදගත් අවස්ථා ඔහුට මඟ හැරුණා. මෙම ප්‍රසංග මාලාවේ අවසන්
අදියර මොන්ට්‍රියල් නගරයේ මෝල්සන් සෙන්ටර්හි ප්‍රසංග වේදිකාවක 1999
දෙසැම්බර් 31 වැනිදා පැවත්වුණා. ඒ වනවිට පිළිකාව පරාජය කර තිබූ රෙනේ
ඇන්ජලිල්, සහශ්‍රයේ අවසාන තත්පර කිහිපය තුළ තම බිරිය සිපගැනීම සඳහා
වේදිකාවට ගොඩවුණා. ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ මෙම ප්‍රසංගයෙන්
පසු ඇය තම පෞද්ගලික ජීවිතය වෙනුවෙන් වඩා වැඩි කාලයක් කැප කළ යුතු
බව තීරණය කළා.
නමුත් එහෙම ඉන්නකොට 2013 වර්ෂයේදී ඇයගේ ජීවිතයට නැවතත් කුණාටුවක්
ආවා. ඒ සැමියාගේ පිළිකා තත්ත්වය නැවතත් ඉස්මතු වීම නිසයි. මේ නිසා
සංගීත ක්ෂේත්රය තුළ අතිශය කාර්යබහුල අවධියක් ගතකරමින් සිටියත්, ඒ
සියල්ල පසෙකට දමා 2014 දී ඇය නැවතත් ප්‍රසිද්ධ ජීවිතයෙන් ඈත් වුණා. මුළු
කාලයම තම ස්වාමි පුරුෂයා සහ දරුවන් තිදෙනා වෙනුවෙන් කැප කිරීමට ඇය
උත්සාහ කළත්, ගිලන්ව සිටි රෙනේ ඇන්ජලිල්ට නැවතත් තම බිරිඳව වේදිකාව
මත දැකීමට අවශ්‍ය වුණා. ඇයගේ ගායනය නැවතත් ඇසීමට ඔහුට අවශ්‍ය
වුණා. ඒ අනුව මවක්, බිරියක්, රැකබලාගන්නියක් මෙන්ම, වරින් වර රසිකයන්
වෙනුවෙන් සිය හඬ අවදි කරන්නියක් වීමටත් ඇයට සිදුවුණා.
2016 ජනවාරි 14 වැනිදා රසිකයන් කම්පාවට පත් කරමින් සෙලීන් ඩියෝන්ගේ
සැමියා, රෙනේ ඇන්ජලිල් මෙලොවින් සමුගත්තා. සෙලීන් මෙතරම් සාර්ථක වීම
පිටුපස තිබෙන්නේ ඇයගේ දක්ෂතාව විතරක්ම නෙවෙයි. රෙනේ ඇන්ජලිල්ගේ
නිවැරදි මඟ පෙන්වීමත් එයට බොහෝ සේ බලපෑවා. රෙනේ ඇන්ජලිල්ගේ
සමුගැනීම සෙලීන් ඩියෝන් තරමටම ඇයගේ රසිකයන්ටත් දැනුණේ ඒ නිසායි.
ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු ඇය ඉංග්‍රීසි බසින් කළ පළමු ඇල්බමය,
'Courage', 2019 දී නිකුත් වුණා. මීට පෙර නිකුත් කළ ගීත ඇල්බමවල නිෂ්පාදන
කටයුතු සහ ප්‍රසංග මාලා සංවිධානය කිරිමේ වගකීම් රෙනේ ඇන්ජලිල් විසින්
සිදුකළත් ඔහු නොමැති නිසා Courage ඇල්බමය සඳහා ඇයට වැඩි වගකීමක්
දරන්න සිදුවුණා. සෙලීන්ට එය විශාල වෙනසක් ලෙස දැනුණු බව පැවසෙනවා.
“මම තවමත් ඔහුට ආදරෙයි. මට මගේ දරුවන්ගේ ආදරය තියෙනවා. රසිකයන්ගේ ආදරය තියෙනවා. මාත්
සමඟ වැඩ කරන අයට මම ආදරෙයි. ඒ නිසා මගේ ජීවිතය ආදරයෙන් තොර හිස් එකක් නෙවෙයි. නමුත්,
සියාගේ ගීතයකින් කියනවා ‘මා නින්දට යන්නේ ඔබ තවමත් මා සමඟ සිටින බව සිතමින්’ කියලා. ඒ වගේම
මම තවමත් ඔහු සමඟ නිදියහනට යනවා. මම තවමත් ඔහු සමඟ ප්‍රසංග වේදිකාවට පැමිණෙනවා.
ඇත්තටම මම තවමත් ඉන්නේ ඔහුත් සමඟ විවාහ වෙලා.”
සැමියාගේ වියෝවෙන් පසු පැවැත් වූ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියලා
තිබුණේ එහෙමයි. ජනප්‍රියත්වය, මිල මුදල් ආදී බොහෝ දේ අත්පත් කරගනිපු
මිනිස්සුන්ටත් ජීවිතවලටත් කඩාවැටීම් එනවා. සමහරවිට ඒවා මුදල්වලින්
විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි. හැබැයි ආදරෙන් හිස් නොවුණු සහ හිත් හයිය
මිනිස්සු ඒ හැම අභියෝගයක්ම ආශිර්වාදයක් කරගෙන තමන්ගේ ගමන යනවා.
හරියට සෙලීන් ඩියෝන් වගේ.
ඩී.පී.වේවැල්පනාව