සුරංගනාවිට හොඳ වැඩේ!
මේක ඊජිප්තු ජනප්‍රවාදවල සඳහන් වෙන කතාවක්. ඔන්න ඉස්සරෝම කාලේ ඊජිප්තුවේ බැලු බැලු අත සුදු පාට මල් පිපිලා තිබුණලු. ඉතිං දවසක්දා ඊජිප්තුවට ඉහළ අහසේ ගමනක් යමින් උන්නු මේරි කියලා පුංචි සුරංගනාවියක් මේ සුදු පාට මල් දැක්කා. ඇගේ සළුව ඇඳපැළඳගන්න මේ මල් ගස් යාය කදිමයි කියලා මේරිට හිතිලා. ඉතින් එසැණින්ම මේරි මහපොළොවට ගොඩබැස්සා. අනේ ඒත් එක්කම ඇගේ නිල්පැහැ සළුව සුදු මල්වල තැවරිලා මල් ඔක්කොම නිල්පාට වුණාලු. එදා ඉඳන් ඊජිප්තුවේ බැලු බැලු අත පිපිලා තිබුණේ සුදු මල් වෙනුවට නිල්පාට මල් කියලයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඔය සිද්ධිය සිද්ධවෙලා කාලෙකට පස්සේ ඊජිප්තු වැසියෝ ඔය මල් ගස් විශේෂය ‘මේරිගේ රෝස’ විදියට හඳුන්වන්න පටන් ගත්තලු. අන්න ඒ මේරිගේ රෝසයි කාලෙත් එක්ක රෝස්මේරි වුණා කියලා කියන්නේ.
ඉතින් මේ රොස්මෙරි ගස්වල පත්‍රවලින් තෙල් වර්ගයක් නිපදවලා ආහාර රස ගන්වන්න වගේම රූපලාවණ්‍ය සත්කාරයක් විදියටත් යොදාගන්න කල් යද්දී මිනිස්සු හුරුවුණාලු. ඒකේ ප්‍රතිඵලයක් විදියටයි මේ දිනවල අපේ යුවතියන් අතරත් රූපලාවණ්‍ය සත්කාරයක් හැටියට රොස්මෙරි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. රොස්මෙරි තෙල්වලට ඉතා ඉක්මනින් කේශ වර්ධනය කරන්න පුළුවන් කියලයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන අපේ ආයුර්වේද වෛද්‍යතුමියගෙන් විමසද්දී කේශ වර්ධනයට අමතරව පහත ප්‍රතිලාභත් රොස්මෙරි තෙල් හරහා ලැබෙනා බවයි ඇය පැවසුවේ.
රොස්මෙරි තෙල් වගේම පත්‍ර හරහා පුද්ගලයන්ගේ මතක ශක්තිය වර්ධනය වීම, මානසික ව්‍යාකූලත්වය නැතිවීම, ශරීරයේ පේශිවල තිබෙන වේදනාව අඩු කිරීම වගේම ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සුවකිරීම සිද්ධ වෙනවා. ඒ වගේම රොස්මෙරි භාවිතයෙන් හිසකෙස් වර්ධනය වී හිසකෙස් ගැලවීයාම වැළකී, හිස්හොරි නැති වීමත් නැවත ඇතිවීම වළක්වා හිස්කබල නිරෝගී වීමත් සිදුවෙනවා. මේ දිනවල හිසට පමණක් නොව රොස්මෙරි සමට ද ඉතා හොඳ සත්කාරයක්. සමේ රැලි වැටීම පාලනය කිරීමට, සම දීප්තිමත් කිරීමට වගේම අඳුරු ලප කැළැල් ඉවත් කිරීමට ද එය යොදාගන්න පුළුවන්. ඊට අමතරව වේදනානාශකයක් විදියටත් රොස්මෙරි යොදාගත හැකියි.
රොස්මෙරි තෙල් මගින් සිදු කරගත හැකි සත්කාර කිහිපයක්
රොස්මෙරි ඔයිල් බිංදු දෙක තුනකට ආමන්ඩ් හෝ ජොජෝබා ඔයිල් බිංදු තුනක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය හිස්කබලේ ආලේප කර හොඳින් විනාඩි 10ක් පමණ සම්බාහනය කරගන්න.
මුහුණේ ලප කැළැල් තිබෙනා අයෙක් නම් මුහුණ හොඳින් සෝදා රොස්මෙරි තෙල් බිංදු දෙක තුනකට ඔලිව් ඔයිල් හෝ කුංකුමාදී තෙල් බිංදු 4ක් හෝ 5ක් එක්කර මුහුණේ ආලේප කරගන්න. ඊටපස්සේ විනාඩි 05ක් විතර සම්බාහනය කරලා සෝදා ඉවත්කරගන්න.
ශරීරයේ වේදනාවක් ඇති වූ විට රොස්මෙරි තෙල් මේස හැඳි 02ක් ගෙන නිර්ගුඩි හෝ නාරායන ඖෂධීය තෙල් වර්ගයකින් මේස හැඳි 04ක් විතර දමා ශරීරයේ වේදනාව ඇති ස්ථානවල ආලේප කරගන්න. ඉන්පසු පාවට්ටා කොළ, නික කොළ, බෙහෙත් එරඩු කොළ වගේම සුදුලූනු බික් දෙකකුත් දමා පොට්ටනියක් සදාගෙන වණ්ඩුවේ තම්බා වේදනාව සහිත ස්ථානවල තබා යහමින් තවාගන්න.
උපදෙස් – වෛද්‍ය එස්.එම්.මධුෂාණි වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ප්‍රධාන වෛද්‍ය නිලධාරී – ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල
නෙත්මි තෂාරා