නවතම ප්‍රවෘත්ති

එයා එච්චර දවසක් හිතාගෙන හිටියේ පොල් ගෙඩිය ඇතුළෙ කිරි තියෙනවා කියලලු සුද්දන්නට අපේ රහට උයන්න උගන්වන අපේ එකී

ආප්ප කා ආණ්ඩු පෙරලූ සිද්ධියේ කතානායකයා මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා වුණත් මේ කතාව නම් උන්දැ ගැන නෙවෙයි. මේ කියන්න යන්නේ මීට අවුරුදු හතළිස්පහකට විතර ඉස්සර එතුමගේ නිජබිම වුණු මින්නේරිය ජනපදයේ සිද්ධ වෙච්චි ආප්ප කෑමේ සිද්ධියක් ගැන. ඒ කාලේ ලංකාවේ ජනාධිපති වුණේ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා. ජේ.ආර්.ගේ ආරාධනාවකට ජෝන් එෆ්.කෙනඩිගේ ආරක්ෂක ලේකම් විදියට කාලයක් කටයුතු කරපු එවකට ලෝක බැංකුවේ සභාපති රොබර්ට් මැක්නමාරා ඇතුළු ඇතුළු පිරිසක් ලංකාවේ සංචාරයකට සහභාගී වුණා. ඒ කාලේ මුදල් ඇමති විදියට කටයුතු කරපු රොනී ද මැල් මහත්තයා මේ පිරිස කොළඹින් එපිට මින්නේරිය ජනපදයේ කොලනියක් බැහැ දකින්න පිටත් කරලා යැව්වා. ඒ ලංකාවේ සැබෑ තත්ත්වය ඔවුන්ට පෙන්වන්නත් එක්ක. අන්න ඒ වෙලාවේ මින්නේරියේ පහේ කොලනියේ උදවිය මේ අය වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුණලු. කැවුම්, කොකිස්, අලුවා, කිරිබත් ආදී නානාප්‍රකාර කැවිලිවලින් පිරුණු මේ කැවිලි මේසයේ හැම කැවිල්ලක්ම අතරින් මැක්නමාරා ඇතුළු පිරිසගේ වඩාත්ම හිත ගත්තා කියන්නේ වණ්ඩු ආප්ප සහ කුරක්කන් හැලප. ඊට දින කිහිපයකට පස්සේ පෙරලා අමෙරිකාවට ගියපු මැක්නමාරා ඩොලර් මිලියන ගණනක දැවැන්ත ආධාරයක් ලංකාවට ලබාදුන්නා. ඒ දක්වා ලෝක බැංකුව ලංකාවට සපයපු විශාලතම මූල්‍ය ආධාරය වු‍ණෙත් ඒක.

මේ කතාව අපිට මතක් වුණේ ගාල්ල උණවටුනෙ සසංගි නිසා. ඇය දැන් අවුරුදු 02ක් තිස්සේ අපේ රටට අනන්‍ය ආහාර පිළියෙල කරලා විදේශිකයන්ට පිළිගන්නවා විතරක් නෙවෙයි, දේශීය ඉවුම් පිහුම් කලාව ඔවුන්ට කියා දෙන්නත් කටයුතු කරනවා. ඒ ඉගැන්නිල්ලේ ප්‍රතිඵලයක් විදියට ඒ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය ඉහළ ගිහිල්ලත් තියෙනවා. ඉතින් ඒ හපන්කම කරපු සංසගි සිරිවර්ධන ගැනයි මේ සටහන.

සසංගිගෙ වයස අවුරුදු 29යි. විදේශිකයන් වෙනුවෙන් ආපනශාලාවක් කරගෙන යන ගමන් ඒ අයට අපේ ඉවුම් පිහුම් කලාව ගැන පන්ති පවත්වන එක තමයි ඇය ජීවිකාව විදියට කරගෙන යන්නේ.

“මට මේක රැකියාවකට වඩා දැනෙන්නේ මගේ ජීවිතේම කොටසක් කියලා. ඒකට හේතුව මම පුංචි කාලෙ ඉඳලම මගේ අම්මා විදේශකයන්ට කෑම පිළියෙල කළා. ඒ අයට අපේ ඉවුම් පිහුම් ගැන කියාදෙන්න පන්ති පැවැත්තුවා. ඉතින් වයස අවුරුදු නමයේදී  මමත් අම්මට ඒ වැඩවලට උදව් කළා. ඒ නිසා පුංචි කාලේ ඉඳන්ම උයන පිහන දේවල් වගේම ඉංග්‍රීසි භාෂාවත් හුරු වුණා.”

එතැන් පටන් සසංගි ඇගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවා දැමුවේ ඉවුම් පිහුම් කලාව වෙනුවෙනි.

“මුදල් උපයන්න කරන රැකියාව පීඩාකාරී එකක් වෙන්න ඕන නෑ කියලයි මම හැමදාම හිතුවේ. මම එහෙම පීඩනයකින් වැඩ කරන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒක නිසා මට ඕනෑ වුණේ මගේ මානසික නිදහසත් රැකගෙන ආදායමකුත් ලැබෙන දෙයක් කරන්න. එහෙම ඉන්නකොට දවසක් අපිව හොයාගෙන අපේ ගෙදරටම විදේශික පිරිසක් ආවා. ඒ අය ඇවිත් කිව්වා අපිට දැනගන්න ලැබුණ ඔයාලා ලංකාවේ කෑම වර්ග උයන විදිය කියල දෙනවා කියලා, අපිත් ආසයි ඉගෙනගන්න කියලා. එතකොට තමයි අපි දැනගත්තේ අපෙන් උයන්න ඉගෙනගත්ත විදේශකයෙක් අපේ ඡායාරූපයක් පළකරලා ඒ ගැන අනෙක් අයව දැනුවත් කරලා කියලා. ඒ නිසා අපිව හොයාගෙන ඒ වගේ තව ගොඩක් අය ආවා. ඊටපස්සේ විදේශකයන්ට ඉවීම කියාදෙන අපේ පුංචි පංතිය ලියාපදිංචි කරලා මහා පරිමාණයෙන් කරන්න පටන්ගත්තා. හැබැයි ඒ තනියම නෙමෙයි. ගාල්ලේ  විදේශිකයන් සංචාරය කරන ප්‍රසිද්ධ තැනක් වෙන ඩච් වෙළඳසැලත් එක්ක සම්බන්ධ වෙලා.”

ඒ අනුව මුලින්ම සිද්ධ වෙන්නේ සංචාරකයන් එන දිනවලට සසංගි ඩච් වෙළඳසැලට ගිහින් අපේ රටේ එළවළු, පලතුරු ගැන ඒවායේ වැදගත්කම ගැන විදේශිකයන්ට පැහැදිලි කරන එකයි. ඊටපස්සේ ඒ අය කැමති මාලුපිනි හතරක් තෝරාගන්නට ඉඩ හරිනවා.

“ඊටපස්සේ එයාලා තෝරගන්න මාලුපිනි, දිනයක් දාගෙන අපේ ගෙදරදි හදන විදිය කියලා දෙනවා. හැබැයි අපි එහෙම කියලා දෙන්නේ එක දවසකට එක කණ්ඩායමකටයි. එක කණ්ඩායමක පිරිස දහදෙනෙක් විතර ඉන්නවා. ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්න  පුළුවන් අවුරුදු 3 1/2 අවම වයස් සීමාව උපරිම වසස් සීමාව අවුරුදු 82යි.”

 

*ඒ කියන්නේ වයස අවුරුදු 3 1/2 ළමයිනුත් ඇවිත් උයනවා?

ඇය කතාවට මද විවේකයක් දෙද්දී මම එහෙම ඇහුවා.

“ඔව්. මේ ළඟදි දවසක අවුරුදු තුන හමාරක පුංචි ගැහැනු ළමයෙක් ඇවිත් අපෙන් උයන විදිය ඉගෙනගත්තා. ඒ වෙලාවේ ඇය එළවළු කපලා පීල් කරලා පුදුම සහයෝගයක් ලබාදුන්නේ. ඒ වගේම තමයි දේශීය සංචාරකයොත් ගොඩක් වෙලාවට දන්නේ නැහැ පොල් ලෙලිගහන්න වගේම පොල් බිඳින්න. අපේ පන්තියෙදි ඒ දේවල් කියලා දෙනවා. විදේශ රටවල ගොඩක් තියෙන්නේ පොල්කිරි පැකට් නිසා පොල් ගෙඩිය කියන දේ එයාලට ගොඩක් සමීප නැහැ. සමහරු දන්නෙ නැහැ පොල් ගෙඩිය ඇතුළ මොන වගේද කියලාවත්. මෑතකදි අපේ පන්තියට ආපු අවුරුදු විස්සක විතර යුරෝපීය පිරිමි ළමයෙක් කියපු දේකින් ඒක හොඳටම ඔප්පු වුණා. මොකද එයා එච්චර දවසක් හිතාගෙන ඉඳල තියෙන්නෙ පොල් ගෙඩිය බිඳපු ගමන් ඒක ඇතුළෙ තියෙන්නෙ කිරි කියලා.”

එවැනි සිද්ධි වගේම විදේශිකයින්ගේ ජීවන රටා පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබාගන්න සසංගිට මේ හේතුවෙන් හැකිවෙලා.

“අපි ළඟට දවසක් ආවා විදේශක පෙම් යුවලක්. ඒ දෙන්නගේ එකම ආසාව රට රටවල්වල සංචාරය කරලා ඒ රටවල්වල තියෙන සාම්ප්‍රදායික කෑම වර්ග මොනවද කියලා දැනගන්න එක වගේම ඒවා හදන විදිය ඉගෙනගැනීම. ඉතිං අපේ රටේ සාම්ප්‍රදායික කෑම මොනවද කියලා දැනගන්න ඒ අය ආවේ අපේ ළඟට. ඒ අය කොච්චර සතුටු වුණාද කියනවනම් එයාලා ගියේ ආපහු අපේ රටට එන බව අපට දන්වලයි. ඒ විදියට අපෙන් උයන විදිය ඉගෙනගෙන හැම අවුරුද්දකම අපිව බලලා යන්න එන අය කිහිපදෙනක්ම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපි කියලා දෙන කෑම වර්ග හදලා එයාලගේ නෑ හිතවතුන් එක්ක බෙදාගන්න ගමන් ඡායාරූප එවන්නත් සමහරු අමතක කරන්නේ නැහැ.”

ඒ අය සංසගිට එවන ඡායාරූප අතරේ වැඩිහරියක්ම තියෙන්නේ වම්බොටු මෝජු  අන්නාසි මාලුව, වට්ටක්කා කළුවට උයපු ඡායාරූපලු.

“මොකද ඒකට හේතුව එයාලා ගොඩක්ම කැමති ඒ වගේ මාලුපිනිවලට. අපේ පංතියට එන ගොඩක් අයගේ තේරීම වෙන්නෙත් ඒ ව්‍යාංජන වර්ගයි. පන්තියේදි පිළියෙල කරන ඒ කෑම හැමදෙයක්ම අවසානයේ අපේ අයට පිළිගන්වනවා. ඒවායේ රස භුක්ති විඳලා ඒ අය ආපහු යන්නේ පුදුම සතුටකින්. ඒ සතුට නිසා මම ලබන්නෙත් වචන කරන්න බැරිතරම් ආත්මතෘප්තියක්. ඒ වගේම මට මේ නිසා රට රටවල විශාල මිතුරු හවුලක් හැදිලා ඉන්නවා. ඒ මිතුරු හවුල අතරින් එක මහත්මයෙක් ඉන්නවා අපේ පවුලේ කෙනෙක් තරමටම අපිට සමීප වුණ. ඔහු හැම අවුරුද්දකම අපිව බලල යන්න ලංකාවට  එනවා. මට ඒ වගේ මිතුරන් මුණගැහුනේ මේ රැකියාව නිසා. ඉතින් මම මේ රැකියාව හරිම සතුටින් කරන්නේ. ඒක නිසා මම තව කෙනෙක්ට කියන්නේ මුදල් උපයන්න ඔබට පීඩාකාරී රැකියාවක් කරන්න අපහසු නම් ඔබට ආත්මතෘප්තියක් ලබාගන්න පුළුවන් එකම එක හැකියාවක් හරි තියෙනවානම් ඒක මුදල් බවට පත්කරන්න. එතකොට නොහිතන තරමට ජීවිතය පහසු වේවි.”

නෙත්මි තෂාරා