Latest News

ඒ කාලෙ යාපනයට හෙලිකොප්ටර් ගොඩබෑවාම ඒක බලන්න සෙනඟ දහස් ගණනින් ගියා

මුලතිව් උපන් ශකිලා කුඩා කල සිට අධ්‍යාපනයට, ක්‍රීඩාවට හා කලාවට දක්ෂතා දක්වන්නීය. සාමාන්‍ය
පෙළ ඉහළින් සමත් වුවද ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් ගමන අත්හැර ඇය රැකියාවකට යන්නීය. මේ
අතර 1990 වර්ෂයේදී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වන අතර යුද්ධය හේතුවෙන් මුලතිව් අත්හැර
පුදුකුඩිරිප්පුහි පදිංචියට යන ශකිලාට ඊළාම් අධිකරණයේ රැකියාවක් ලැබේ. ඊළාම් අධිකරණ කටයුතු
විස්තර කරන ශකිලා.
“ඊළාම් අධිකරණයේදී එල්.ටී.ටී.ඊ. සන්නද්ධ සටන්කාමීන්ගේ නඩු විභාග කළේ
නැහැ. සාමාන්‍ය මිනිස්සු එක්ක ගැටලුවක් වුණොත් ඒ දේවල් අධිකරණයේ
විභාග වෙනවා. නමුත් සංවිධානය ඇතුළේ සිද්ධවෙන වැරදි අධිකරණයට
එන්නෙ නැහැ. එයාලටත් ශ්‍රී ලංකා රජයේ වගේම එල්.ටී.ටී.ඊ. මිලිටරි
පොලිසියත් (හමුදා පොලිසිය) වගේම යුද්ධාධිකරණයක් තිබුණා. එයාලගෙ
වැරදිවලට යුද්ධාධිකරණයෙන් තමයි නඩු විභාග කරලා දඬුවම් කරන්නේ. මම
අහලා තියෙන විදියට ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් වගේ වැරදිවලට මරණ දඬුවම
දීලා තියෙන්නෙ කෙටි නඩු විභාගයකින් පස්සේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ
ඉදිරිපිට වෙඩි තියලා තමයි මරණ දඬුවම ක්‍රියාත්මක කරලා තියෙන්නෙ.
නැවත ඒ වැරදි නොකරන්න අනිත් අයට පාඩමක් විදියට තමයි ප්‍රසිද්ධියේ
දඬුවම් දීලා තියෙන්නෙ.”
ඊළාම් අධිකරණයේදී උසස්වීම් සඳහා පාඨමාලා පැවත්විණි. ඒ අතර ඇතැම් ඊළාම් අධිකරණ සේවකයින්
උසස්වීම් ලබා නීතීඥ වෘත්තිය මෙන්ම විනිසුරු පත්වීම ද ලදහ. මේ අතර ශකිලාහටද උසස්වීමක් ලැබූ
අතර ඊළාම් අධිකරණ අමාත්‍යංශයෙන් ඇයට කැඳවීමක් ලැබිණ.
“පුදුකුඩිරිප්පු උසාවියේ වැඩ කරද්දි ලියුමක් ලැබුණා. ඊළඟ උසස්වීම සඳහා
සුදුසුකම් ලබලා තියෙනවා, ඊට අදාළ පුහුණුව සඳහා ඊළාම් අධිකරණ
අමාත්‍යංශයට එන්න කියලා. අධිකරණ අමාත්‍යංශය තිබුණෙ යාපනය
මුන්නාකම්වල. එහේ පුහුණුව ලබමින් ඉද්දි පත්තරේක දැන්වීමක් දැක්කා
රජයේ හෙද පුහුණුව සඳහා බඳවාගැනීම් කරනවා කියලා. යාපනයෙත් හෙද

විදුහලක් තිබුණා. ඒ කාලේ දැන් වගේ නෙමෙයි උසස් පෙළ අවශ්‍ය නැහැ.
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලවලින් හෙද පුහුණුවට ගන්නවා. මගේ සාමාන්‍ය
පෙළ විභාග ප්‍රතිඵල හොඳ නිසා මම ඉල්ලුම්පත්‍රයක් දැම්මා. සම්මුඛ
පරීක්ෂණ යාපනයේම තිබුණා. සම්මුඛ පරීක්ෂණයෙනුත් සමත් වුණා. එතැනින්
පස්සේ රජයේ හෙද පුහුණුවට ගියා. ම​ගේ මතකයේ හැටියට 1994 දී තමයි
හෙද පුහුණුවට ගියේ. ඔය කාලයෙම තිබුණ ආණ්ඩුව වෙනස් වෙලා චන්ද්‍රිකා
මැතිනියගේ රජය බලයට පත්වුණේ. ​මගේ මතකයේ හැටියට පොඩි කාලයක්
සාම සාකච්ඡා පැවතුණා. මේ සාම සාකච්ඡා සඳහා රජයේ නියෝජිතයන් කීප
අවස්ථාවකදී යාපනයට ආවා. ඒ වෙද්දි දකුණත් එක්ක ගොඩබිම් මාර්ග
සබඳතා තිබුණෙ නැති නිසා ඒ අය හෙලිකොප්ටරෙන් තමයි ආවේ. යාපනයට
හෙලිකොප්ටරයක් ගොඩබෑවේ අවුරුදු ගණකින්. අනිත් කාලයට
හෙලිකොප්ටර් යන්නෙ අඩි දහස් ගාණක් උඩින්. ඒ නිසා හෙලිකොප්ටර්
ගොඩබෑවාම හෙලිකොප්ටර් බලන්න සෙනඟ දහස් ගණනින් ගියා.”
මේ අතර චන්ද්‍රිකා රජය හා එල්.ටී.ටී.ඊ.ය අතර සාම සාකච්ඡා එතරම් පලදායී ලෙස පැවතුණේ නැහැ.
ඊට ප්‍රධාන හේතුව වී තිබුණේ ඊට පෙර ප්‍රේමදාස මහතා වසර කීපයක් සාම සාකච්ඡා පවත්වා රජය
වෙතින් ලබාගත යුතු සියලු වරදාන (අප්‍රකටව යුද අවි පවා කන්ටේනර් ගණනින් ලබාගෙන තිබුණි)
ලබාගැනීමෙන් පසුව එක්වරම ගිවිසුමෙන් ඉවත්ව ප්‍රහාර එල්ල කිරීමයි. අනපේක්ෂිතව එල්ල වූ එම
ප්‍රහාරයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් දහස් ගණනකගේ ජීවිත අහිමි වූහ. මේ
තත්ත්වය මත සාම සාකච්ඡා ආරම්භ කළ ද රජය එල්.ටී.ටී.ඊ.ය දෙස බැලුවේ සැකයෙනි. ඊට පෙර ලද
අත්දැකීම් හේතුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉල්ලීම් ඉටුකිරීමටද පසුබට විය. ඔවුන්ගේ ප්‍රධාන
ඉල්ලීමක් වූයේ ආරක්ෂක මර්මස්ථානයක් වූ පුනරින්හි පිහිටි විශාල යුද හමුදා කඳවුර ඉවත් කිරීමයි. ඒ අනුව
1995 අප්‍රේල් 19 මධ්‍යම රාත්‍රියේදී ඒක පාර්ශවීයව සටන් විරාමයෙන් ඉවත් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය
ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කළෝය. සටන් විරාමයෙන් ඉවත්වීමට පැය කිහිපයකට පෙර ත්‍රිකුණාමලය
නාවික තටාකාංගණයට ඇතුළු වූ කොටි සාමාජිකයන් එහි නවතා තිබූ දැවැන්ත නාවික යුද යාත්‍රා දෙකක්
වූ ‘සූරයා’ හා ‘වීරයා’ යන යාත්‍රා දෙකේ බෝම්බ අටවනු ලැබූ අතර සටන් විරාමයෙන් ඉවත්වීම
නිවේදනය නිකුත් කර සුළු මොහොතකට පසුව බෝම්බ පුපුරවා නාවික යාත්‍රා දෙක විනාශ කළෝය.
එහිදී නිලධාරීන් ඇතුළු නාවික සෙබළුන් රැසක් ද මරණයට පත්වූහ. තුන්වන ඊළාම් යුද්ධය ආරම්භ වීමෙන්
පසුව ඇති වූ තත්ත්වය විස්තර කළ ශකිලා.
“සටන් විරාම කාලයේදී මිනිස්සු සංතෝෂයෙන් හිටියා. යුද්ධය කාලයේදී
දකුණට යුද හමුදාවේ මෘතදේහ ගියා වගේම උතුරට එල්.ටී.ටී.ඊ.
සාමාජිකයන්ගේ මෘතදේහ ආවා. කොයි දෙමව්පියන්ට ඥාතීන්ට වුණත් ඒක
දුකක්. යුද්ධය ආරම්භ වුණාම තැනින් තැන දෙගොල්ලම ප්‍රහාර එල්ල
කරගන්නවා. අපි මේවා දැනගත්තේ මාධ්‍යයෙන්. එතකොට යාපනය
අර්ධද්වීපයේම පාලනය සම්පූර්ණයෙන්ම තිබුණෙ එල්.ටී.ටී.ඊ. සංවිධානය

අතේ. එයාලගේ හමුදා මූලස්ථාන වගේම පරිපාලන මධ්‍යස්ථානත් තිබුණා.
පලාලි, අලිමංකඩ, පුනරීන් ප්‍රදේශයේ යුද හමුදා සහ ගුවන් හමුදා කඳවුරක්
වගේම දූපත් ආශ්‍රිතව නාවික හමුදා කඳවුරු කීපයක් තිබුණා. ඒ නිසා
යාපනයට ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඉඳලා හිටලා ගුවන් ප්‍රහාර විතරක් එල්ල
වෙනවා. නායකතුමා (ප්‍රභාකරන්) හිටියෙත් යාපනයේ.”
මේ අතර එල්.ටී.ටී.ඊ.ය විසින් වෙනම පරිපාලන ප්‍රදේශයක් පවත්වාගෙන යන යාපනය, රජයට මහත්
හිසරදයක් වී තිබුණි. ඒ නිසා යුද විශ්ලේෂකයන්ගේ අදහස වී තිබුණේ යාපනයේ එල්.ටී.ටී.ඊ. බලය විනාශ
කිරීම මගින් කොටි සංවිධානය දුර්වල වන බවයි. මීට පෙර වර්ෂ 1987 දී යාපනය අත්පත් කරගැනීම
සඳහා විමුක්ති මෙහෙයුම (වඩමාරච්චි මෙහෙයුම) ආරම්භ විය. මෙහෙයුම සාර්ථකව ඉදිරියට යනවිට
ඉන්දියාව මැදිහත් වී එය නවතා දැමුවේය. නමුත් 1993 දී රජීව් ගාන්ධි මහතා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය
කිරීමෙන් පසුව මේ තත්ත්වය වෙනස් විය. ඒ අනුව රජය විසින් යාපනය අර්ධද්වීපය සම්පූර්ණයෙන්
අත්පත් කරගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරන ලදි. එවකට ආරක්ෂක ඇමති ලෙස කටයුතු
කරන ලද්දේ කර්නල් අනුරුද්ධ රත්වත්ත මහතාය. මෙහෙයුමේ නම ‘රිවි රැස’ ය.
“යුද හමුදාවෙන් සූරියකන්දල් (රිවි රැස මෙහෙයුම දමිළ ජනතාව හැඳින් වූ
නම) එකපාරටම වගේ එල්.ටී.ටී.ඊ. සංවිධානය හිතුවෙත් නැහැ යාපනය
අල්ලන්න මේ වගේ මෙහෙයුමක් පටන්ගනීවි කියලා. 1995 ඔක්තෝබර්
මාසයේදී තමයි මෙහෙයුම පටන්ගත්තේ. මුලදි මුලදි හමුදාවෙ ගමන
නවත්තන්න උත්සාහ කළත් ඒ වැඩේ අසාර්ථක වුණ නිසා එල්.ටී.ටී.ඊ.
සංවිධානය ආයුද සහ පිරිස් බලය ආරක්ෂා කරගෙන ඉවත් වෙන්න තීරණය
කළා. ඒ වෙද්දි යාපනයේ ලක්ෂ ගාණක ජනතාවක් හිටියා. සංවිධානයෙන්
කිව්වා කැමති අයට යුද පාලනයට එන්න එයාලත් එක්ක එන්න කැමති අය
වන්නියට (කිලිනොච්චි, මුලතිව් කොටි පාලන ප්‍රදේශ) එන්න කියලා. ඔය
කාලය වෙද්දි මගේ පවුලේ සහෝදරයෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳිලා
සටන්කාමියෙක් විදියට කටයුතු කරනවා. මම ඊළාම් රජයේ සේවිකාවක්
විදියට කටයුතු කළා. ඒ තත්ත්වය උඩ යුද හමුදා පාලනයක් ආපු ගමන් මම
ගැන දන්න අපේම අය ආරක්ෂක අංශවලට මා ගැන තොරතුරු දේවි කියලා
හිතුණා. එහෙම වුණොත් මාව හමුදා අත්අඩංගුවට පත්වෙනවා. ඒ වෙද්දි මම
අවුරුදු එකහමාරක කාලයක් රජයේ හෙදි පුහුණුව ලබලා හිටියේ. නමුත් ඒ
සේරම අත්හැරලා එල්.ටී.ටී.ඊ. පාලනය තිබුණ වන්නියට යන්න තීරණය කළා.
ඔය කාලයේදී ගොඩබිම් මාර්ගය තිබුණ අලිමංකඩ යුද හමුදා කඳවුරක් තිබුණ
නිසා ඒ පාර ජනතාව පාවිච්චි කළේ නැහැ. කිලාලි කලපුව හරහා ඉතාමත්
දුෂ්කර පාරක් තිබුණෙ. ඒ වනවිට තමන්ට අත්‍යවශ්‍ය බඩුමුට්ටු පොදි බැඳගත්

ජනතාව දහ දහස් ගණනින් පයින්ම වන්නියට යන ගමන පටන් අරගෙන
තිබුණා.”
සිය ගමන් බෑගය කරට ගත් ශකිලා ද දහස් ගණනක් වූ අවතැන්වූවන්ගේ ජනගඟට එක්වූවාය.
ශකිලාගේ වන්නි නව ජීවන ඇරඹුම ලබන සතියට…

සනත් ප්‍රියන්ත