අලුත් ගමනක් වෙනුවෙන් යොහානි Outright Stage වෙත ගොඩවෙයි
ශ්‍රී ලාංකේය කලාකරුවන් සංකේතාත්මක කීර්ති නාමයන් බවට පත්කිරීම අරමුණුකොට ගනිමින් ශ්‍රී ලංකාවෙන් ලෝකය වෙත කලාකරුවන් ගෙනයාමේ වේදිකාව වන Outright Play විසින් සංවිධානය කරනු ලැබූ Outright Stage හි ප්‍රථම වෙළුම Outright Stage – Volume 1 නමින් පසුගියදා දියත් කරන ලදී. ඒ පොප් සංගීතයේ ගෝලීය සලකුණක් වන යොහානිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සජීවී සංගීත ප්‍රසංගයක් සමඟිනි.
ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව මෙරට සජීවී සංගීත සංදර්ශනයකරණයට නවමු අරුතක් එක්කරමින් Waters Edge Main Ballroom හි පැවති මෙම සංදර්ශනය සඳහා 1000කට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ. වසර 3කට පසු වේදිකාවට නැවත පැමිණි යොහානි විනාඩි 90ක් පුරා රැස්ව සිටි පිරිස අමන්දානන්දයට පත්කිරීමට සමත් වූයේ ඇයගේ ගීත, සිංහල හා හින්දි අනුවාදනයන් මෙන්ම ‘කෙල්ල’ ඇල්බමයේ ගීත ඇතුළු ගීත 28කින් වේදිකාව වර්ණවත් කරමිනි. ඒ ගීත අතුරින් ගීත 20කට ආකර්ෂණීය නර්තනයන්ගෙන් ද වේදිකාව මත ඉදිරිපත් කළ යොහානි එකෝස්ටික් හා ඉලෙක්ට්‍රික් ගිටාර් මෙන්ම පියානෝව වාදනය කරමින් ගීත කිහිපයක සංගීතයෙන් ද ප්‍රේක්ෂකයින් පිනවීමට කටයුතු කළාය.
Outright Play හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දිලංජන් සෙනෙවිරත්න මහතා විසින් මෙම සංදර්ශන සංකල්පය දියත් කරනු ලැබුවේ ශ්‍රී ලාංකේය කලාකරුවන් ගෝලීය වේදිකාවට ඔසවා තැබීමේ සමාගම් දැක්මෙහි පියවරක් ලෙසිනි.
Outright Play වෙතින් හඳුන්වා දෙනු ලැබූ නවක කලාකාරිනියන් වූ අමර්ෂා තිසේරා සහ රුමල්කි රවීෂා සංගීත සන්ධ්‍යාවට නව ජවයක් මෙන්ම අපූර්වත්වයක් එක්කිරීමට සමත් වූයේ සිය දක්ෂතාවන් වේදිකාව මත ප්‍රදර්ශනය කරමිනි.