විශේෂාංග

කුර්දිය වෙනුවෙන් දිවි පිදූ රෝස කුසුම ආසියා

සිරියාවත් තුර්කියත් අතර මායිමේ පිහිටලා තියෙන කුර්දි කඳු නිසා ඒ ප්‍රදේශයේ තියෙන්නේ අමුතුම ලෝකයක් කිව්වොත් හරි. ඒ අමුතු ලෝකේ අස්සේ ගුප්ත ලස්සනක් තියෙනවා කියලා සමහරු කතාවට කියනවා. හැබැයි ඇත්‍තටම කුර්දි කඳු පළාත ලස්සන වෙන්න ඒ හැමදේටම වඩා වෙන ලොකු හේතුවක් තිබුණා. ඒ තමයි පෙනුම අතින් ලස්සනම ලස්සන කෙල්ලෝ මේ ප්‍රදේශයේ ජීවත්වීම.

ආසියා රාමසාන්, ඇයත් මේ කියපු කුර්දි ප්‍රදේශයේ කමිශ්ලි කියන කුඩා ගම්මානයේ ජීවත්වුණු හැඩකාර කුර්දි දැරියක්. ආසියා කොච්චර ලස්සනද කිව්වොත් ආසියාගේ රූපෙට වශීවුණු තරුණයෝ මලකින් රොන් ගන්න එන බඹරු වගේ ඈ වටේ කැරකුණා. වයසත් එක්කලා ආසියාට නම් ආදරය ගැන හිතන්න උනන්දුවක් තිබුණේ නෑ. හැබැයි ඇයට එහෙම ඉන්න ලැබුණෙත් ටික කාලයයි. උපන්දා ඉඳලා තමන්ගේ පවුලට උරුමවෙලා තිබුණු දුප්පත්කම නිසා වැඩි වයසක් යන්නට කලින් ආසියාට විවාහවෙන්න සිද්ධ වුණා. එතකොට ඇයට අවුරුදු පහළොවයි. ඒත් ඒ විවාහය සාර්ථක එකක් වුණේ නෑ.

ඒ මිනිහා සතුටින් හිටපු කෙනෙක් නෙවෙයි. ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් පිරිච්ච යකෙක්. ඒ නිසා මට ඒ කසාදේ එපා වුණා. ඒනිසා මම ඒ මිනිහගෙන් අයින් වුණා.”

දික්කසාදයෙන් පස්සේ ආසියා ආයෙත් ගෙදර ගියා. අයිසිස්, ඩයේෂ් වගේ භීෂණකාරී සංවිධාන එළියට බහින්න පටන්ගත්තෙත් ඔය කාලේ. ආසියා ඉන්න ගම්මානය අයිති කලාපයේ ඉස්ලාමික රාජ්‍යයක් පිහිටුවන එකයි ඔවුන්ගේ අරමුණ වුණේ. කොහොමහරි ඔවුන් ඒ ප්‍රදේශයේ භීෂණය පැතිරුවා.

හැබැයි අයිසිස්ලට අරමුණ ජයගන්න ඒ තරම් ලේසි  වුණේ නැහැ. මොකද මේ වගේ සංවිධානවලට මුහුණදෙන්න කුර්දි ජනතාව ඒ වෙනකොටත් හමුදාවක් හදාගෙන හිටියා. ඒ කුර්දි හමුදාවේ හිටපු ළාබාලම කෙල්ල වුණේ දික්කසාද වෙලා ගෙදර ආපු ආසියා.

කුර්දි හමුදාවට එකතුවෙච්ච මුල් කාලේ මං කළේ ගම වටේ අගල් කපපු එක. පස්සේ මටත් අවි පුහුණුවක් දුන්නා. ටික කාලෙකින් හැම ආයුධයක්ම පාවිච්චි කරන්න මට පුළුවන් වුණා. ඒ දක්ෂතාවය නිසා ඒ අය මාව හමුදාවේ ඉදිරිපෙළ සෙබළියක් කළා.”

ඔය කාලේ දවසක් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එක්ක කුර්දි ප්‍රදේශයට ඡායාරූප ශිල්පියෙක් ආවා. අවි අතදරන් හිටපු හැඩකාර ආසියාව ඡායාරූප ශිල්පියාගේ ඇස ගැටු‍ණේ එතකොට. ගොඩක් ලස්සන නිසා ආසියා නිතරම අනිත් අයට වඩා කැපිලා පෙනුණා. අවියක් අතේ තියන් ඉන්න ලස්සන කෙල්ලගේ ෆොටෝ එකක් නොගහා ඉන්න ඡායාරූප ශිල්පියාට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා ආසියාට හොරා ඔහු ඇයගේ ඡායාරූප කීපයක්ම අරන් එරටේ ප්‍රසිද්ධ පුවත්පත් ආයතනවලට දුන්නා. ඒ ඡායාරූප පුවත්පත්වල පළවුණත් එක්කම ආසියාත් නොදැනීම ආසියා ප්‍රසිද්ධ වුණා. කොටින්ම කිව්වොත් ඇය එකරැයින් තරුවක් වුණා. ආයිසාගේ ලස්සන නිසාම ලෝක ප්‍රසිද්ධ නිළියකගේ නමක් ගාවලා ‘කුර්දි ඇන්ජලීනා ජොලී’ කියලා නමකුත් පටබැඳුනා.

මම තරුවක් වගේ ජනප්‍රිය වුණා. හොලිවුඩ්වල අධ්‍යක්ෂවරු මට රඟපාන්න කතා කළා. ඒත් ඇමරිකාවේ තරුවක් වෙන්න මට ඕනේ නැහැ. යුද්ධ කරලා අපේ ගම බේරගන්න විතරයි මට ඕනේ.”

එදා 2016 අගෝස්තු 30. ඒක යුද්දේ වැඩි කාලයක්. අයිසිස් සංවිධානෙට අයත් මරාගෙන මැරෙන වාහන තුනක් කුර්දි ආරක්ෂක වළල්ල පැත්තට එනවා අසියා දැක්කා. එතකොට ආසියාට අවුරුදු 18යි. ආසියාගේ හිතට තමන්ගේ උන් ගැන ලොකු කැක්කුමක් දැනුණා. ඇයට හිතන්න වෙලාවක් තිබුණේ නෑ. අතේ තිබුණු ගිනිඅවියෙන් ආසියා එතැනින් ගිය වාහන දෙකක්ම පුපුරවලා විනාශ කළා. එකක් ඉතුරුයි. දිගින් දිගටම වෙඩි තිබ්බත් ඉලක්කේ අසාර්ථක වුණා. තවත් බලන් ඉන්න බැරි තැන මරාගෙන මැරෙන වාහනය කිට්ටුවටම ගිහින් වෙඩි තියන්න ආසියා තීරණය කළා. ආසියා වාහනේට වෙඩි තියනවා. ආසියාවත් කෑලි කරගෙනම වාහනේ පිපුරුණා.

ආසියා නිර්භීත කෙල්ලෙක්. අපිට ඇය ගැන ආඩම්බරයි. කර්දිය බේරගන්නයි ඇයට ඕන වුණේ. නැත්නම් අවුරුදු 15දී කැමැත්තෙන් හමුදාවට බැඳෙන්නේ මොන කෙල්ලද? හැබැයි අවාසනාවකට ඇයට යන්න වුණා. හැබැයි නිකන් නෙමෙයි ඇය ගියේ වීරවරියක් විදියට.”

තමන් වෙනුවෙන් ජීවිතය දන් දුන් ආසියා ගැන කුර්දි මිනිස්සු කියන්නේ එහෙමයි. ආසියා ජීවිතයෙන් සමුඅරන් මේ වෙනකොට වසර හතක්. හැබැයි අදටත් කුර්දි ගමට ආසියා වීරවරියක්.

රුවන් එස්.සෙනවිරත්න