රූපලවන්‍ය

තොල් පැලුණු කාන්තාවන් තනතුරින් ඉවතට!

මේක එක්දාස් හත්සිය හැත්තෑ ගණන්වල එංගලන්තයේ සුදු නෝනලාට සිද්ධවෙච්ච අලකලංචියක්. ඒ දවස්වල ඉඳපු සුදු නෝනලා ලස්සනට ඉන්න හරි කැමැතිලු. ඉතින් ඒ නිසා නිතරම ඔවුන් හිටියේ තොල්පටවල් රතු පාටින් නැත්නම් රෝස පාටින් පාට කරගෙනලු.

රතු පාට තොල්වලට ආකර්ශනය වුණත් තොල් ආලේපන ඉවත් කළාම පෙම්වතියගේ, බිරිඳගේ තොල් රතුපාට නැහැ, එක්කෝ වේළිලා, පැලිලා ගිහිල්ලා කියලා සුදු මහත්තුරු අතර කසුකුසුවක් ඇති වුණා. ඒක හරියට නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක් කියලා තමයි ඒ අය කිව්වේ.

කසුකුසුවක් කිව්වට මේක එසේ මෙසේ එකක් නෙවෙයි. කොටින්ම කිව්වොත් මේ කතාව නතර වෙලා තියෙන්නෙ ඒ කාලේ බ්‍රිතාන්‍ය පාලනය කරපු සාමි මන්ත්‍රණ සභාවටත් ගිහින්. ඊටපස්සෙ සුදු මහත්තුරුන්ගේ දුක අහලා උණු වෙච්චි බ්‍රිතාන්‍ය රජය ඔවුන් වෙනුවෙන් හරි අමුතු නීතියක් සම්මත කරලා තියෙනවා.

තොල් ආලේපන ඉවත් කළාට පස්සේ තොල් පැලිලා, කළුවෙලා ගිහිල්ලා නම් රූපලාවන්‍ය රැවටීමකින් පුරුෂයන් විවාහ කරගැනීමේ වරද යටතේ ඒ විවාහය අවලංගු කරන්න පුළුවන් කියන එක තමා ඒ නීතිය.

ඔන්න ඉතින් ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කියලා අර සුදු මහත්තුරුත් තමන්ගේ නෝනලා ටික හරි හරියට දික්කසාද කරන්න පටන් අරන්. හැබැයි ඉතින් නෝනලා ටිකත් වැඩේ අතඇරලා නෑ. ඒ අය කළේ දිගට හරහට දෙතොල්වලට එක එක රූපලාවන්‍ය සත්කාර කරපු එක. ඉතින් ඔහොම ටික කාලයක් යද්දි ඒ අයට ස්වභාවිකවම ලස්සන රෝස පාට දෙතොල් ලබාගන්න පුළුවන් වුණු නිසා බ්‍රිතාන්‍ය රටේ නීතියත් සුදු නෝනලා ඉස්සරහා පරාද වුණාලු.

එහෙ විතරක් නෙවේ වේළිලා, පැලිලා, කළු ගැහුණු දෙතොල් නිසා තොල් ආලේපන නැතිව ලෝකෙට මූණ දෙන්න අකැමති නෝනලා මෙහෙත් ඕසෙට ඉන්නවා. ඔන්න එහෙම කෙනෙක්ට නම් මේ ලිපිය අනිවාර්යයෙන්ම වැදගත් වෙයි.

කාන්තා වතකමලේ ආකර්ශනීයම ස්ථානය දෙතොල් කියලා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් කරපු සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. කාන්තා තොල්වල තියෙන පූර්ණත්වය සහ නැවුම්බව නිසා පුරුෂ පාර්ශවය මුලින්ම ආකර්ශනය වෙන්නේ කාන්තාවන්ගේ දෙතොල් යුගළට කියලා ප්‍රකට මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් එහෙමත් කියලා තියෙනවා. ඒ විතරක්ද? ඒ කාලේ ගොඩක් රටවල පුරුෂාධිපත්‍යයට එරෙහිව නැගී සිටි කාන්තා කැරලිවල සංකේතය වෙලා තියෙන්නෙත් ‘රතු දෙතොල්.’

මිනිස්සුන්ට දෙතොල් පිහිටන්නේ මූණේ ලස්සන වැඩි කරන්නම විතරක් නෙමෙයි. මුහුණේත්, මුඛයේත් සමබරතාවය රැකගන්නට වගේම වචන උච්චාරණය කරන්නත් තොල් වැදගත්

හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ​තොල්වලට සමේ අනිත් ස්ථානවලට වගේ ඝනකම් ආරක්ෂිත පටලයක් නැහැ. දෙතොල් කියන්නේ අපේ ශරීරයේ තියෙන සංවේදීම ස්ථානයක්. කොච්චර සංවේදීද කියලා කිව්වොත් අපේ ඇඟිලිතුඩුවලට වඩා 100 ගුණයක් විතර දෙතොල් සංවේදියි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.

තොල්වල තියෙන රුධිර නාල පවා පිහිටා තියෙන්නේ බාහිර සමට ගෑවෙන නොගෑවෙන දුරකින්ලු. තොල්පෙති රතු පාටට නැත්නම් රෝස පාටට පේන්නේ ඒ නිසයි.

හැබැයි කළු කෙනෙක්ගේ රුධිර නාළිකාත් කළු පැහැයක් ගන්න නිසා ඒ අයගේ දෙතොල් කළු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් උපතින්ම දෙතොල් කළු කෙනෙක්ට වුණත් තොල් ලස්සනට තියාගන්න පුළුවන්. දීර්ඝ වෙලාවක් තද හිරුඑළියේ නැත්නම් අධික සීතල කාලගුණයක සිටියොත් තොල් වේළිලා පැලෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු, විටමින් ඌණතා නිසා විතරක් නෙවේ ආමාශයේ රෝග නිසාත් සමහරුන්ගේ තොල් තදටම පැලෙනවා.

තොල් පැලෙන්න, අවලස්සන වෙන්න බලපාන තවත් ප්‍රධානම හේතුවක් තමයි හරියට වතුර බොන්නේ නැති එක. තොල්වල තෙල් ග්‍රන්ථි නැති නිසා බාහිරින් තොල්වලට තෙතමනය දෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙම එකේ දවසට අවශ්‍ය කරන වතුර ටික හරියට බොන්නේ නැත්නම් තොල්වලට කාගේ සරණක්ද? ඊටපස්සේ වෙන්නේ ඉතින් දොතොල්වල පටල බිඳිලා සියුම් ඉරිතැලීම් ඇතිවෙන එක. ඔය ඉරිතැලීම් සියුම් වුණාට මේකත් එක්ක අපේ දෙතොලට ඇතිවෙන අවලස්සනයි, වේදනාවයි නම් සියුම් නැහැ.

පරණ පොත්වල තියෙන විදියට නම් ‘තොල් සැපීම’ කියන්නේ කාන්තා සූ සැට මායම්වලින් එකක්ලු. කාවහරි වශී කරගන්න ඒ ක්‍රමේ හරියනවද කියලා කියන්න නම් අපි දන්නේ නැහැ. හැබැයි නිතරම තොල් සැපීමේ අනිසි ප්‍රතිඵලය විදියටත් තොල් වියැළෙන්න පුළුවන්. 18 වෙනි සියවසේදී යුරෝපය ඇතුළු ගොඩක් රටවල මායාකාරියන් කියලා සැකකරන කාන්තාවන්ව හොයලා ඝාතනය කළාලුනේ. මේකට කිව්වේ ‘මායාකාරී දඩයම’ කියලා. ඉතින් කළු වෙච්චි, පැලිච්චි තොල් තිබුණු කාන්තාවන් මායාකාරියන් විදියට නම් කරලා ඝාතනය කරලා තියෙනවා. දැන් කාලේ එහෙම දේවල් වෙන්නේ නැති වුණත් තොල් කැත වෙලා නම් අනිත් අය ඉස්සරහා ඔයා අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා දෙතොල් හැඩට තියාගන්න උදව් වෙන සත්කාර ටිකක් ගැන දැන් අපි කතා කරමු.

පළවෙනිම දේ තමයි දවසට වතුර ලීටර දෙක්කවත් බොන එක. ඒ වගේම විටමින් A,B,C,D අඩංගු එළවලු පලතුරු වැඩිපුර කෑමට ගන්න අමතක කරන්නත් එපා.

මුහුණෙන් මැරුණු සම ඉවත් කරනවා වගේම දෙතොල්වලත් මැරුණු සම ඉවත් කරන්න ඕනේ. සියුම් සීනි, මී පැණි, ​ජොජෝබා තෙල් එකට මිශ්‍ර කරලා විනාඩි දෙකක් විතර දෙතොල් ස්ක්‍රබ් කරන්න ඔයාට පුළුවන්.

හැමදාම දත් මදිද්දි අත තද නොකර සියුම්වට දෙතොල් මදින එකත් දෙතොලේ මැරුණු සම ඉවත් කරන්න හොඳ ක්‍රමයක්.

සතියකට පාරක් ඔලිව් තෙල්, මී පැණි, ග්‍රීන් ටී එකට මිශ්‍ර කරලා දෙතොල්වල ආලේප කරන්න.

ඒ වගේම හැමදාම රෑට නින්දට යනකොට ෂියා බටර්, ආමන්ඩ් තෙල්, එඬරු තෙල්, සුපිරිසිදු පොලතෙල් ඔය කිව්ව ඒවයින් එකක් දෙතොලේ ආලේප කරන්න පුළුවන් නම් දෙතොල්වල තෙතමනය රැකගන්න ලේසියි.

ඉස්සර ගැමි කාන්තාවන් නාදළු වන් දෙතොල් ලබාගත්තේ එළකිරි උතුරනකොට උඩට එන යොදය කොටස දෙතොල්වල ආලේප කරලලු. මේක ඉතින් අදටත් ගැළපෙන තොල් සත්කාරයක්.

ඒ වගේම තෝර කොළ යුෂ අඹරා ආලේප කිරීමෙන් තොල්වල පැහැය වැඩි කරන්න පුළුවන්.

රතු රෝස පෙති ගිතෙලෙන් අඹරා ආලේප කරන එකත් හොඳ සත්කාරයක්.

වයසින් වැඩෙනකොට තොල් තුනී වෙන්න, හැකිළෙන්න බලන එක සාමාන්‍යයි. හැබැයි දෙතොල්වල හයිලුරොනික් ඇසිඩ් අඩංගු ලිප් බාම් එකක් ආලේප කරන්න පුළුවන් නම් මේ තත්ත්වය ටිකක් පාලනය කරගන්න පුළුවන්.

තදටම අවපැහැවුණු නැත්නම් පැලුණු දෙතොල් තියෙන කෙනෙක් නම් Retinol, Kojic Acid, AHA කියන මේ සංයෝගවලින් එකක් හරි අඩංගු ලිප් බාම් එකක් භාවිතා කරලා ඒ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. තොල් කළුවෙලා, පැළිලා නැති කෙනෙක්ට වුණත් මේ දේවල් භාවිතා කරන්න බැරි නැහැ.

ඉතින් ඔය සත්කාර ටික හරියටම කරනවා නම් මුහුණ නොකියන දේ දෙතොලින් කියලා ඕනම කෙනෙක්ගේ ආකර්ශනය දිනාගන්න අමාරුවෙන එකක් නැහැ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි