නවතම ප්‍රවෘත්ති

පුංචි කාලේ ඉඳලා මට නින්ද යන්නේ නැටුම් සද්දෙට

මහ ගස් යට පොඩි ගස් සාරෙට හැදෙන්නේ නැහැයි කියලා කතාවට කිව්වට මොකද මහා රුක්ෂ වගේ ඉන්න තාත්තලාගේ හෙවනේ හැදිලා තවත් මහ ගස් වෙච්චි දරුවෝ මේ ලෝකේ ඕනතරම් ඉන්නවා.

ලෝක ප්‍රකට විලාසිතා සන්නාමය ලුවී වුටන් (Louis Vuitton) හිමිකරු බර්නාර්ඩ් ආනර්ල්ඩ්ට වගේම ඇගේ දියණිය ඩෙල්පින් ආර්නල්ඩ්ටත් ආයතනයේ විශාල කොටස් ගාණක් හිමිව තියෙනවා. ඇමරිකාවේ විශාලම ආයෝජන සමාගමක් වෙන ෆිෆෙලිටි (Fidelity Investment) සමාගමේ එඩ්වර්ඩ් ජොන්සන්ට වඩා ව්‍යාපාරය දියුණු කළේ ඔහුගේ දියණිය ඇබ්ගේල් ජොන්සන්. ව්‍යාපාර ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි අනිල් කපූර්ගේ දියණිය සෝනාම් කපූර්… රන්දීර් කපූර් සහ ඔහුගේ දියණියන් වෙන කරිෂ්මා සහ කරීනා… ප්‍රකට හොලිවුඩ් නළු විල් ස්මිත්ගේ දියණිය ප්‍රකට ගායිකා විලොව් ස්මිත්… ඔය විදියට හැම ක්ෂේත්‍රයකම මහ ගස් වගේ තාත්තලාගේ හෙවන යට සාර්ථක වෙච්චි දූවරු ගැන උදාහරණ ඕන හැටියට.

මෙතැනින් එහාට මේ කතාබහත් ඒ වගේ මහ ගහක් යට හැදෙන, අනාගතේදි තවත් මහ ගහක් වෙයි කියලා අනාවැකි කියන්න පුළුවන් යුවතියක් එක්ක. සුන්දර රූපකායකට හිමිකම් කියන ඇය නර්තනය ඇතුළු අංශ කිහිපයකම හපන්කම් පෙන්වන්නියක්. දෙවංගි වික්‍රමසිංහ… අපි හැමෝම ආදරේ කරන ප්‍රවීණ නර්තන ශිල්පී, නර්තනාචාර්යය චන්දන වික්‍රමසිංහ මහත්මයාගේ වැඩිමහල් දියණිය. අද ‘ධරණී’ කවරය හැඩවෙන්නේත් ඇගේ රුවෙන්.

මේ වෙනකොට ඇය සයිබර් සිකියුරිටි සම්බන්ධ මූලික උපාධිය හදාරලා අවසන්. දැනට ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් සයිබර් සිකියුරිටි ඉගැන්වීම සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය හදාරමින් ඉන්නවා. ඉතින් දැන් දෙවංගි ජීවත්වෙන්නේ සිඩ්නිවල. යුනිවර්සිටි එකේ නිවාඩුවකට ආපු ගමනයි ඇය අපිත් එක්ක කතා කළේ. දෙවංගි කතාව පටන්ගත්තේ පුංචි සන්ධියෙන්.

ඉස්සර අපේ තාත්තගේ ඩාන්සින් හෝල් එක තිබුණේ රත්මලානේ අපේ මහගෙදර. තාත්තා නටනකොට මම ගිහිල්ලා බලාගෙන ඉන්නවා. එතකොට මට වයස අටක් නවයක් ඇති. තාත්තගෙ ඩාන්සින් ගෲප් එකේ හිටපු අයියලා, අක්කලා එහෙමත් මාත් එක්ක හරි එකතුයි. ඒ දවස්වල අපේ අම්මත් ජොබ් එකක් කළා. ඉතින් මම ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා ගෲප් එකේ අය එක්ක ඉන්නවා මට මතකයි.”

පුංචි කාලේ ඉඳලා දෙවංගි හැදිලා තියෙන්නේ නර්තනය ඇහැට කනට පේන නර්තන පරිසරයක.

තාත්තා ගොඩාක් කාර්යබහුල චරිතයක්. ඒ නිසා අපිත් එක්ක ඉන්න ලැබුණු වෙලාව අඩුයි. ඒ වුණාට ඉඩ ලැබෙන හැමවෙලාවෙම තාත්තා අපි එක්ක හිටියා. අපිව ඇවිදින්න එක්කරගෙන ගියා. පිටරට ටුවර්ස් ආවහම අපිවත් එක්කගෙන ගියා. පුංචි කාලේ ඒ මතක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.”

දෙවංගිගේ මව දිල්හානි වික්‍රමසිංහ. ඒ වගේම ඇයට මනුක ලක්දිව්, තනුක මන්දිව් නමින් සහෝදරයෝ දෙදෙනෙකුත් ඉන්නවා.

අපේ පවුලේ පස්දෙනා හරි එකතුයි. ඒ විතරක් නෙමෙයි අපේ ගෙදර කවදාවත් පාළුවට යන්නේ නෑ. නිතරම ගේ ඇතුළෙ දහයක් පහළොවක් ඉන්නවා. පුංචි කාලේ ඉඳලා මට නින්ද යන්නේ නැටුම් සද්දෙට. ඉතින් එකපාර මේ පරිසරයෙන් මිදිලා රට ගියාම මට හෝම්සික් එක වගේ. නැටුම් සද්දේ නැතිව මට පාළුයි. සමහරුන්ට නම් කාලයක් යද්දි ඒක හරියනවා. ඒත් මට එහෙම නැහැ. කොවිඩ් කාලේ ඔස්ට්‍රේලියාව ලොක්ඩවුන් කළ වෙලාවේ මට ඩිප්‍රෙෂන් වගේ ආවා. ඒ නිසා දැන් මම නිවාඩු ලැබෙන හැමවෙලාවෙම ලංකාවට එනවා.”

 

*ඔය කියන විදියට දෙවංගි නර්තනය එක්කම හැදුණු දරුවෙක්. ඉතින් නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න කියලා තාත්තා දෙවංගිට කිව්වේ නැද්ද?

පුංචි කාලෙදි මම හරිම ලැජ්ජයි. කොයිවෙලේත් පස්සට වෙලා ඉන්නයි බලන්නේ. තාත්තා නැටුම් කරන නිසා ඔයත් නැටුම් කරන්න ඕනේ කියලා තාත්තා මට කවදාවත් කියලා නැහැ. පොඩි කාලේ ඉඳලා මම ආස වුණේ IT වලට. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න කියලයි තාත්තත් කිව්වේ. හැබැයි නැටුම් ඉගෙනගන්නත් පොඩි කැමැත්තක් නොතිබුණාම නෙමෙයි. ඒ නිසා මම තාත්තගෙන් නැටුම් ඉගෙනගන්න ගියා. ඒ ගියාට තාත්තගෙන් නැටුම් ඉගෙනගන්න මට ලැජ්ජා හිතුණා. පස්සේ O/L කාලේ ගයනි කියන මිස්ගෙන් නැටුම් ඉගෙනගත්තා. පස්සේ තාත්තගේ ගෲප් එකේ නටන්න ගියා. මම දුවයි කියලා තාත්තා මාව ගෲප් එකේ ඉස්සරහට ගත්තේ නැහැ. මොකද එහෙම සුදුසුකමක් මට තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළින් පස්සේ මම තාත්තගෙන් නැටුම් ඉගෙනගත්තා. පස්සේ වැඩිදුර අධ්‍යාපනයට රට එනකල්ම තාත්තගේ ගෲප් එකේ නැටුවා.”

මුකේෂ් අම්බානි කියන්නේ ඉන්දියාවේ ඉන්න ධනවත්ම පුද්ගලයා. 2012දී මුකේෂ්ගේ වැඩිමහල් දියණිය ඊෂා අම්බානි විවාහ වුණා. ලෝකය පුරා කොච්චර නැටුම් ශිල්පියෝ හිටියත් මුකේෂ් අම්බානි තමන්ගේ දියණියගේ මංගල උත්සවයේ නර්තන අධ්‍යක්ෂවරයා විදියට තෝරගත්තේ චන්දන වික්‍රමසිංහව. එදා දවසේ අත්දැකීම් ගැනත් දෙවංගි අපිත් එක්ක කිව්වා.

තාත්තගෙ නර්තන කලාවේ විශේෂ අංග, වර්ණ සංකලන, ඔය වගේ දේවල්වලට ඒ අය කැමැති වෙන්න ඇති කියලා පෞද්ගලිකව මම හිතනවා. මුකේෂ් අම්බානි එයාගේ දුවගේ වෙඩින් එක ඩිරෙක්ට් කරන්න කියලා තාත්තට පෞද්ගලිකව කතා කරලා කියලා තිබුණා. ඒ ඉවෙන්ට් එකට නටන්න මමත් ගියා. එදා දවස මගේ ජීවිතේට අමුතුම අත්දැකීමක්. වෙඩින් එක තිබුණු හෝල් එකේ ඉඳලම හරිම ලස්සනයි. අපේ සිංහල විදියට ප්‍රශස්ති කියලා ඉවෙන්ට් එක පටන්ගත්තේ. වැඩේ ඉවර කළේ සුරාංගනීසින්දුවෙන්. එතැන හිටිය අමුත්තෝ වගේම මුකේෂ් අම්බානිත් අපේ නැටුම් ගැන සතුටු වුණා. ඒ දේවල් ගැන හිතද්දී ඇත්තටම දුවෙක් විදියට තාත්තා ගැන ආඩම්බරයි.”

අපේ නර්තන ශිල්පියෙක් විදියට අපේ රටට ඔහු ගෙනා ඒ ආඩම්බරය අපේ හිත්වලටත් දැනෙන බව නොකියා බෑ. ටික්ටොක් එකේ ටිකක් උඩ පැනලා කාරිය වීඩියෝ එකක් දෙකක් අප්ලෝඩ් කරපුවම නර්තන ශිල්පිනියක් වෙනවා කියලා හිතන උදවියත් ඉන්නවනේ. හැබැයි නර්තන ශිල්පය කියන්නේ දැඩි කැපකිරීම් මැද කරන බොහොම ගෞරවාන්විත වෘත්තියක් කියලත් ඔය කතාවෙන් පස්සේ දෙවංගි අපිට කිව්වා.

නර්තනය කියන්නේ වෙනම කලාවක්. මේකප් එකක් දාලා, කොණ්ඩ මොස්තරයක් දාලා පැය කිහිපයක වෙඩින් එකකට ගියාපුවම දැනෙන අපහසුව අපේ කාන්තාවෝ දන්නවා. ඉතින් හිතන්නකේ ඒ වගේ දෙගුණයක්, තුන් ගුණයක් බර ඇඳුම් ඇඳගෙන ටයිමින්වලට නටනවා කියන එක පේනවා වගේ ලේසි නැහැ. ඒක හොඳ හැදෑරීමක්, පුහුණුවක් එක්ක කරන්න ඕන. හැබැයි දැන් සමහරු ඒ එකක්වත් නැතිව නටන්නන් වාලේ නටලා නර්තන ශිල්පියෝ කියලා ලේබල් ගහගන්නවා. එහෙම කරන එකෙන් ක්ෂේත්‍රයට හානියක් වෙන්න පුළුවන්.”

මෙතුවක් වෙලා නැටුම් ගැන කතා කළාට මොකද දෙවංගිගේ විෂය සයිබර් සිකියුරිටි. මේක කාන්තාවන් වැඩිපුර යොමුවෙන අංශයක් නෙමෙයි. ඒ නිසා විශේෂයෙන් ඒ ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.

මේ විෂයෙන් උගන්වන්නේ අන්තර්ජාල ආරක්ෂාව ගැන. මේ විෂය හදාරණ ගැහැනු ළමයි අඩුයි. දැන් ලෝකය ඉස්සරහට යන්නේ තාක්ෂණය එක්ක. ඉතින් මේ වගේ විෂයන්වලට තියෙන ඉල්ලුම වැඩියි. ඒ විතරක් නෙමෙයි මම නම් ප්‍රායෝගිකවත් මේකෙන් දේවල් ඉගෙනගන්නවා. උදාහරණයක් වශයෙන් අපි ඇඟ වැහුණු ඡායාරූපයක් දානවට වඩා ඇඟ නිරාවරණය වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට එකතු කළාම ඒ ඡායාරූපය හරහා අදාළ කාන්තාව අන්තර්ජාල අපරාධයකට ලක්වෙන්න තියෙන අවදානම වැඩියි. ඉතින් තරුණ ගෑනු ළමයෙක් විදියට මම මේ වගේ දේවල් ගැන නිතරම දැනුවත් වෙනවා.”

නර්තනය පැත්තෙන්ම ඉදිරියට නොයා මේ වගේ විෂයකට යොමුවුණු එක ගැන තාත්තත් සතුට වෙනවා කියලා ඇය කිව්වේ.

 

*දෙවංගිට තාත්තා දීලා තියෙන හොඳම උපදේශය මොකක්ද? ඊගාවට අපි ඇගෙන් ඇහුවා.

තාත්තගේ ගෞරවය ආරක්ෂා කරන්න කියන එක. පුංචි කාලේ ඉඳලම මට පිරිමි යාළුවෝ වැඩියි. දැනුත් එහෙමයි. පිරිමි යාළුවෝ වැඩි නිසා තාත්තගේ නැටිල්ල දුවටත් තියෙනවා කියලා ඉස්සර ඉස්කෝලේ සමහර අම්මලා ඇනුම්පද කියලත් තියෙනවා. ඒ කොහොම වුණත් මම තාත්තගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නැහැ කියලා තාත්තා දන්නවා. ඒ විශ්වාසය මාත් ඒ විදියටම රකිනවා.”

දෙවංගි තාත්තා ගැන කතා කළේ හදවතින්. ඒ කතාව කියද්දීත් ගෞරවයක් වැනි හැඟීමක් ඇගේ මුහුණේ තිබුණා. තාත්තගේ නර්තනය ඉදිරියට ගෙනියන්න අදහසක් තියෙනවද කියන එකයි අවසාන වශයෙන් අපි ඇගෙන් ඇහුවේ.

තාත්තා වගේ ප්‍රවීණයෙක් වෙන්න නම් ලොකු දැනුමක් ඕනේ. ඇත්තම කිව්වොත් තාත්තට වගේ නර්තන දැනුමක් මට නැහැ. හැබැයි එහෙමයි කියලා මම මේක අත අරින්නෙත් නැහැ. වෘත්තියක් විදියට නැති වුණත් අතිරේක දෙයක් විදියට හරි තාත්තගේ නැටුම් ඉස්සරහට ගෙනියන එකයි මගේ බලාපොරොත්තුව.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප සමන් අබේසිරිවර්ධන

ඇඳුම් නිර්මාණය කසුන් ෆොන්සේකා