Latest News

සජබයට එරෙහිව ඩයනා අධිකරණයට යයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඇය විසින් මෙලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

අදාළ පෙත්සම අද (02) ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත් මහත්මින් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කලේ, අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගන්නා බවයි.

පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය පළකලේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධුරයෙන් නෙරපීමට කටයුතුකර ඇති බවයි.

එම තීරණයට එළඹීමට පෙර වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට කටයුතු නොකළ බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් පෙන්වා දී තිබුණා.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහිමිකිරීමට වගඋත්තරකරුවන් ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පෙත්සමෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසක් නම් කර තිබෙනවා.