Latest News

විභාගයට අමතර කොළ ඉල්ලු සිසුවියට බැන්න විභාග පරික්ෂකවරයාට එරෙහිව පැමිණිල්ලක්

උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුවියක් විසින් විභාග පරික්ෂකයෙකුට එරෙහිව මාතලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙලෙස පැමිණිලි කර ඇත්තේ, මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්තරේට පිළිතුරු ලියමින් සිටි සිසුවියක්.

අදාළ සිසුවිය විසින් පිළිතුරු ලිවීම සඳහා කොළ ඉල්ලා සිටි අවස්ථාවේ එම ශාලාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා කම්පනයට පත් වූ බව කියමින් එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

මෙසේ කම්පනයට පත් වූ නිසා අදාළ විෂය කරුණු අමතක වී ගිය බවත් එම සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන්.

මෙහිදී පොලිසිය සඳහන් කලේ, අදාළ විභාග පරීක්ෂකවරයා විසින් එම සිසුවියට මේකී මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්නද දන්නේ නැහැ යැයි පවසා ඇති බවයි.

විභාග පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ගුරුවරයා හඳුනන්නේ නොමැති බවත් ඔහු ගැන තොරතුරු කීමට තමා නොදන්නා බවත් සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය සඳහන් කළා.