ප්‍රීතිමත් ජීවිතයකට

නැති බැරි ගායෙන් පෙළෙන නෝනලා වෙතටයි

දෙදරු පියෙක් වෙච්චි සමන් මාව මුණගැහෙන්න ආවේ රැකියාව අහිමිවීමේ පීඩනය යටපත් කරගන්න. රැකියාව අහිමිවෙන්න මාස කිහිපයකට කලින් ඔහු රිය අනතුරකට පවා මුහුණ දීලා තිබුණා.

මම යමක්කමක් තිබුණු පවුලක කෙනෙක්. හබැයි මගේ බිරිඳට එහෙමට කියලා දෙයක් නොතිබුණු නිසා මම එයාව බඳිනවාට මගේ පවුලේ අය කැමති වුණේ නැහැ. පස්සේ තනි කැමැත්තට වසන්තිව බැන්දාම ගෙදර අය මාව අතඇරියා. බඳින්නත් කලින් ඉඳලා මගේම කියලා බිස්නස් එකක් තිබුණු නිසා අපිට ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි බැඳලා අවුරුදු දෙකක් විතර යද්දි බිස්නස් එක බංකොලොත් වුණා.”

ව්‍යාපාරය වැහුණට පස්සේ සමන් රැකියාවක් හොයාගෙන. ඔය අතරේ තමයි දරුවෝ දෙන්නා ලැබිලා තියෙන්නේ. ලොකු දරුවට ටිකක් දරුණු අසනීපයක් හැදිලා අතේ ඉතිරි කරගෙන තිබුණු මුදල් එහෙමත් වියදම් වුණාලු.

බැඳපු දා ඉඳලා අපිට කරදර. වසන්ති කියන්නේම මගේ ගෙදර අය අපිව හැඳිගෑවිලා යන්න හූනියමක් කරල කියලා.”

හූනියමක් කළා කියලා ගෙදර අය වසන්තිට කියලාද?” ඒ පාර මම ඇහුවා. නැහැ ඒ වුණාට අපිට මෙහෙම වෙන්නේ ඒ නිසා බව වසන්තිට හොඳටම විශ්වාසයිලු. තොවිල් පෙවිල් පවා කළත් තාම වෙනසක් නැහැ.”

කෙනෙක්ගේ මනස නිතරම ඍණාත්මක විශ්වාසවලින් පිරිලා තියෙනවා නම් ඒ පුද්ගලයාගේ පවුලේ උදවියගේ නැත්තම් ආශ්‍රය කරන අනිත් අයගේ සිතුවිලිත් ඉබේටම ඍණාත්මක වෙන්න ඉඩතියෙනවා. පවුලකට මේක වුණොත් ඒ පවුලට වගතුවක් නැතිවෙන එක ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. මේ පවුලට ප්‍රශ්න පිට ප්‍රශ්න ඇතිවෙන්න හේතුවෙලා තිබුණෙම කොඩිවිනයක් නිසා පවුලට හරි යන්නේ නැහැ කියලා බිරිඳගේ හිතේ ඇතිවුණු විශ්වාසය. ඇය ඒකම සමන්ගේ හිතෙත් පැලපදියම් කරලා. මේ කියන බිරිඳ බොහොම ඍණාත්මක කෙනෙක්බව තේරුණු නිසා සැමියගෙන් බිරිඳ ගැන තවත් විස්තර අහලා බැලුවා.

ගෙදර බල්බ් එකක් දාන්න උඩකට නැග්ගත් ඔයා උඩින් වැටිලා අත කැඩෙයි වගේ කතාලු මේ බිරිඳ කියන්නේ. දරුවන්ට වුණත් ඉගෙනගන්න බැහැ කියලා ඇය නිතරම  කියනවලු.

බිරිඳත් එක්කලා නැවත උපදේශනයට එන්න කියලා යෝජනා කළ නිසා පස්සේ දවසක ඔහු වසන්ති එක්ක මාව මුණගැහෙන්න ආවා. උපදේශනයෙදි පවා මේ බිරිඳ කතා කළේම ඍණාත්මක විදියට.

පවුලට කවුරුත් කොඩිවින කරලා නැහැ, හැම නස්පැත්තියකටම මුල ඔවුන්ගේම විශ්වාස බව උපදේශන සැසි කිහිපයකින් පැහැදිලි කරන්න පුළුවන් වුණා. විශ්වාස කරන්න ඊට මාස කිහිපයකට පස්සේ මේ දෙපළ එකතු වෙලා නැවතත් පුංචිවට ව්‍යාපාරයක් පවා ආරම්භ කළා.

උදේ ඉඳලා හවස් වෙනකල් අනේ අපිට සල්ලි නැහැ. අපිට අරක නැහැ, මේක නැහැ…” කියලා අඳෝනාව දිගහැරගත්වනම ඉන්නා බිරින්ඳෑවරු හරි සුලබයි. සැමියා සහ දරුවෝ දෙයක් කරන්න ගියත් ඕක හරියන්නේ නෑ. ඕක ඔයාට බැහැ වගේ දේවල් තමයි මේ අය කියන්නේ.

දෙයක් හරි යන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවානම් ඒක හරියන්නේ නැහැම තමයි. කාර් එකක් ගන්න එක හීනයක් කියලා හිතන කෙනෙක්ට ඇත්තටම ඒක හීනයක්.

අපි කතා කරන හැම වචනයකටම ශක්තියක් සහ සංඛ්‍යාතයක් තියෙනවා කියලා විද්‍යාත්මකව ඔප්පු  කරලා තියෙනවා. කෙනෙක් නිතරම ඍණාත්මක දේ කියනවානම් ඔහු තුළින් පිටවෙන්නේ රළු කම්පන. නිතරම මෘදු ධනාත්මක දේ හිතන, කියන කෙනෙක්ගෙන් පිටවෙන කම්පන තරංග මෘදුයි. කෙනෙක්ගේ කම්පන සංඛ්‍යාත යහපත් නම් ඒ කෙනාට සාර්ථක වෙන්න පහසුයි. මනෝවිද්‍යාවෙදි අපි ඕක ‘Law of vibration’ නමින් හඳුන්වනවා.

හැබැයි ධනාත්මක දේට වඩා ඉක්මනින් අපේ මොළය  ඍණාත්මක දේට ආකර්ෂණ වෙනවා. ඉතින් ඍණාත්මක දේ නිතරම හිතද්දි, කියද්දි අපිට ඒ දේ අවශ්‍යයි කියලා මනස හිතනවා. එතකොට නිතරම ඍණාත්මක දේ ආකර්ෂණය වෙන එක සාමාන්‍යයි. කොඩිවින හූනියම් සම්බන්ධයෙනුත් මනසට සිද්ධවෙන්නේ මේ කියන දේ බව විවිධ පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. ඔය වගේ දේ ඕනවට වඩා විශ්වාස කරන, නිතර නැහැ… බැහැ කියාගෙන, අඬාගෙන, වැළපීගෙන ඉන්න උදවියගේ ජීවිත සාර්ථක වෙනවා අඩුයි. ඒ කාරණාවේ ඇත්ත නැත්ත පෞද්ගලිකව ටිකක් අධ්‍යයනය කරලා බලන්න කියලා මම යෝජනා කරනවා.

නැහැ… බැහැ කියලා කෙනෙක්ව අභිප්‍රේරණය කරන්න පුළුවන් කියලා හිතන අයත් ඉන්නවා. උදාහරණයක් විදියට “ඔයාට ඉගෙනගන්න බැහැ” කිව්වහම ඔහු ඒක හිතට අරන් ඉගෙනගනී කියලා හිතන අම්මලා ඉන්නවා. ගොඩක් ශක්තිමත් දරුවෙක් නම් ඒ වගේ දෙයකින් අභිප්‍රේරණයක් ගන්න පුළුවන්. හැබැයි බහුතරයක් ඕකෙන් කඩාවැටෙනවා මිසක් අභිප්‍රේරණය වෙන්නේ නැහැ.

අනික මතක තියාගන්න වෙන කෙනෙක්ට නැහැ, බැහැ කියලා කියද්දි ඒක ඒ කෙනාට වඩා කියන කෙනාට වැඩිපුර බලපානවා.

ඒ නිසා දෛනික කතාබහ තුළ සිතුවිලි තුළ ධනාත්මක වෙන්න. ගෙදර අය එක්ක කතා කරද්දි අනාගතය සැලසුම් කරද්දි වුණත් පවුලට වෙන හොඳ දේ ගැනම හිතන්න. ඒ ගැන කතා කරන්න. ධනාත්මක වෙන තරමට පවුල් ජීවිතේ වගේම පවුලේ ආර්ථිකයත් ඉබේටම වගේ යහපත් වෙනබව ටික කාලෙකින්ම දැනේවි.

මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි