ප්‍රීතිමත් ජීවිතයකට

ඔසප් කාලෙට සමහර නෝනලාගේ ළඟින් ගියොත් ඇහැක් නෑ

කාලෙකට කලින් ඉන්දියාවේ ප්‍රසිද්ධ නළුවෙක් සියදිවිහානි කරගත්තා මතකද? ඒ කාලේ අපේ රටේ අය අතරෙත් විශාදය ගැන ලොකු කතාබහක් ඇති වුණා. තමන්ගේ බිරිඳගේ හැසිරීම් රටාවත් එක්ක ඇයත් විශාදය තත්ත්වයක ඉන්නවා කියලයි චතුර අනුමාන කරලා තිබුනේ. ඔහු මුහුණුපොතේ ඒ ගැන පළවෙලා තිබුණු ලිපියකුත් කියෙව්වලු.

එහෙම අනුමාන කරන්න පාදක වෙච්චි ලක්ෂණ මොනවද කියලා ඇහුවම,එක  කාලෙකට එයා හරි අමුතුයි. ආදරෙන් කතා කළත් මට බනිනවා. මුල්ලකට වෙලා තනියම අඬනවා කියලයි චතුර කිව්වේ.

චතුරත් එක්ක ඔහුගේ බිරිඳත් ඇවිත් තිබුණා මාව මුණගැහෙන්න. ඉතින් ඇය එක්කත් මම ටිකක් තනියම කතා කළා.

මොකක් හරි ශාරීරික රෝගයකට බෙහෙත් ගන්නවද?”

නෑ එහෙම කිසි ලෙඩක් නැහැ.”

එහෙනම් හස්බන්ඩ් සලකන විදියේ අඩුපාඩුවක්?”

අනේ නැහැඑයා මට ආදරෙන් සලකනවා.”

දෙන්නා දෙමහල්ලෝ කිව්ව කරුණුත් එක්ක ප්‍රශ්නේ මොකද්ද කියලා මට පැහැදිලි වුණා. ගැටලුව තහවුරු කරගන්න අවශ්‍ය නිසා බිරිඳගේ වෙනස්කම් ඇතිවෙන දිනවකවානු සටහන් කරගෙන ආයෙත් මාස දෙකකින්  එන්න කිව්වා.

කිව්ව කාලවකවානුවටම ඔවුන් මාව මුණගැහෙන්න ආවා. මම හිතූ විදියටම ඇගේ අමුතු හැසිරීම් මතුවෙලා තිබුණේ මාසික ඔසප් දවසට සති දෙකකට කලින්.

චතුරගේ බිරිඳට තිබුණේ පූර්ව ඔසප් පීඩනය. (Pre menstrual Syndrome). ගොඩක් පවුල් ආරවුල්, දික්කසාදවලටත් මේ තත්ත්වය හේතුවෙනවා. ඒ කොහොම වුණත් මේ ගැන අපේ උදවියගේ වැඩි දැනුවත්භාවයක් නැති බව නම් කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

ඔසප් වෙන්න සති දෙකකට කලින් (ඒ කියන්නේ ඩිම්බකෝෂවලින් ඩිම්බයක් පිටවෙන කාලෙට) ඩිම්බය ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වුණේ නැත්තම් කාන්තා හෝර්මෝන මට්ටම පහල බහිනවා. ඒත් එක්කම කාන්තාවට යම් යම් ශරීර වේදනා, වෙහෙස දැනීම වගේ ශාරීරික ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ වගේම දැඩි අසහනකාරීබව, නින්ද නොයාම, මානසික ආතතිය, අහේතුකව මනෝභාවයන් වෙනස්වීම (මූඩ්ස්), මතක ශක්තිය අඩුවීම, අහේතුකව දුක දැනීම, ප්‍රචණ්ඩකාරීවීම වගේ ලක්ෂණත් ඇතිවෙන්න පුළුවන්.

අනික දැන් කාලෙ කාන්තාවන්ට ඉස්සර කාන්තාවන්ට වඩා වගකීම් වැඩියි. මවකගේ, බිරිඳගේ භූමිකාව, ගෙදර වැඩ, රැකියාවේ පීඩනය වගේ දේවල් එක්ක තරමක පීඩනයකින් ජීවත්වෙන්න ඔවුන්ට සිද්ධවෙලා තියෙනවා. ඉතින් අර හෝර්මෝන පහල වැටීමේ තත්ත්වයත් එක්ක මේ පීඩනයත් එක්කාසු වුණාම කාන්තාවකගේ හැසිරීමේ ලොකු වෙනසක් ඇතිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

සමහර කාන්තාවෝ ඔය කාලෙට බොහොම ආවේගශීලීයි. ඉක්මනට කේන්ති ගන්නවා. ඒ නිසා ඔය දවස්වලට කාන්තාවන් අතින් අපරාධයක් වුණත් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. යුරෝපීය රටවල නම් කාන්තාවකගේ අතින් වුණු අපරාධයකට දඬුවම් දෙන්න කලින් ඇය ගතකළේ පූර්ව ඔසප් කාලයද කියන එක සලකා බලනවා. මොකද මේක ස්වභාවික ක්‍රියාවලියක් නිසා. එවැනි අවස්ථාවක් නම් තත්ත්වය සලකලා දඬුවම් අවම කරනවා

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හැම කාන්තාවකටම පූර්ව ඔසප් පීඩනයක් දැනෙනවද කියලා. ඇත්තටම හැම කෙනෙක්ටම ඒ පීඩනය තදින් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරු අර ඉහත කිව් ලක්ෂණ පෙන්වන්නෙම නැතිතරම්. හැබැයි සමහර කාන්තාවන්ට එදිනෙදා ජීවිතේ වැඩ කරගන්න බැරිතරමට මේ පීඩනය දැනෙනවා. ඔසප් වෙන්න දවස් 7-10 කාලය තුළ තමයි ඒ පීඩනය හොඳටම දැනෙන්නේ. සමහරු ඔය දවස් කිහිපයේම පූර්ව ඔසප් පීඩන ලක්ෂණ පෙන්වනවා. තවත් සමහර අය ඒක එක දවසක් විතරක් පෙන්වන්නත් පුළුවන්. ඔසප් වීමෙන් පස්සෙ හෝර්මෝන ඉහළ යාම එක්ක පීඩනය අඩුවෙලා යනවා.

අවුරුදු 30-45 අතර අය මේ පීඩන ලක්ෂණ පෙන්වන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම පෞරුෂ ස්වභාවය. හොඳ දරාගැනීමක් තියෙන කෙනෙක්ට පීඩනය පිටට නොපෙන්වා ඉන්න පුළුවන්. හැබැයි දරාගැනීම අඩු කෙනෙක්ට එහෙම ඉන්න අමාරුයි. නමුත් ගර්භිණී කාලෙදියි ආර්ථවහරණයෙන් පස්සෙයි ඔසප්වීමක් නොවෙන නිසා ඒ කාලෙදි කාන්තාවකට ඔය පීඩනය ඇතිවෙන්නේ නැහැ.

මේක බොහොම ස්වාභාවික දෙයක්. ඉතින් උපදේශනයෙදි අපි සැමියට බිරිඳගේ මනසේ ස්වභාවය පැහැදිලි කරනවා.

එක්තරා කාලසීමාවකට විතරක් බිරිඳ අමුතු පහේ ලක්ෂණ පෙන්වනවා නම් සැමියෙක්ට කරන්න තියෙන හොඳම දේ ඇය එක්ක ඉවසීමෙන් කටයුතු කරන එක. බිරිඳ නිස්කාරණේ කේන්ති ගත්තට, රණ්ඩු කළාට පෙරළා ඇය එක්ක රණ්ඩු කරන්න යන්න එපා. ඇය ඒ දේවල් උවමනාවෙන් කරනවා නෙමෙයි කියන එක තේරුම්ගන්න. ඔය කාලෙට ඇතැම් කාන්තාවන්ට ලිංගික ආශාව අඩුයි. ඉතින් ඒ දේවල් ගැනත් අවබෝධයෙන් ඉන්න. ඇයට වැඩි ආදරයක්, අවධානයක් දෙන්න.

ඔසප් කාලෙට දවස් දාහතරකට කලින් තමන්ට මෙහෙම පීඩනයක් ඇතිවෙන්න පුළුවන් කියලා කාන්තාවන් මතක තියාගන්න. ඒ කාලයට අනවශ්‍ය ගැටුම් ඇති කරගන්නැතිව ඉන්න උත්සාහ කරන්න. නිතරම හොඳ නින්දක් ලබාගන්න. ව්‍යායාම, භාවනා වගේ මනස සැහැල්ලු වෙන දේ කරන්න. තත්ත්වය පාලනය කරගන්නම බැරිනම් සුදුසුකම්ලත් මනෝඋපදේශකවරයෙක්ව මුණගැහෙන්න.

චතුරත් මේ කරුණු තේරුම්ගත්තා. ඒ නිසා ඒ අදාළ කාලසීමාවෙදි දැන් ඔහු බොහොම ඉවසීමෙන් කටයුතු කරනවලු. පූර්ව ඔසප් පීඩනය ගැන දැනුවත් වුණු නිසා ඉස්සරට වඩා බිරිඳත් තත්ත්වය පාලනය කරගෙන තියෙනවා කියලයි ඔහු කිව්වේ.

කවුමාල් ද සිල්වා

මනෝචිකිත්සක, මනෝවිද්‍යා පුහුණු උපදේශක

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි