ප්‍රීතිමත් ජීවිතයකට

අනිත් දේවල් වගේම ලිංගිකත්වය ගැනත් අපි කතා කරනවා

අපි ගොඩක්වෙලාවට හිතනවා පවුල් ජීවිතේ සාර්ථකව ගෙනියන්න ආදරය, අවබෝධය, එකිනෙකාගේ අදහස්වලට ගරුකිරීම වගේ දේවල් තිබුණොත් ඇති කියලා. ඇත්තටම ඒ දේවල් ඇරුණම පවුල් ජීවිතයක සාර්ථකත්වයට බලපාන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ලිංගික එක්වීමකින් දෙදෙනා ලබන තෘප්තිමත්බව.

ඒ වුණත් ලිංගිකත්වය ගැන තමන්ට දැනෙන දේ කතා කරන්න ගොඩක්දෙනා ලැජ්ජයි. හැබැයි ඒ ලැජ්ජාව ඉස්සරහට දාගෙන ලිංගිකත්වය පිළිබඳව තමන්ට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ ගැන දෙදෙනා සුහදව කතාබහ නොකළොත් ඒ කාරණාව නිසාත් පවුල් ජීවිත අවුල්වෙලා යන්න පුළුවන්. ජීවිතේ බෙදාගන්න අපි තෝරගත්තු සහකරුවා එක්ක එවැනි දෙයක් විවෘතව කතා කරන්න බැරිනම් අපි තේරුම්ගන්න ඕන දේ තමයි අපේ බැඳීමේ යම්කිසි පලුද්දක් තියෙන බව.

මටත් ඉස්සර එහෙම දේවල් ගැන කතා කරන්න බැරි කුලෑටි ගතියක් තිබ්බා. මට දැනෙන දේ ගැන කතා කරන්න, කියන්න මටත් පුදුම ලැජ්ජාවක් තිබුණේ. දහම් මාත් එක්ක ඒ දේවල් ගැන විවෘතව කතා කළත් පැය විසිහතරේම කියවන මං ඒ වෙලාවට මුනිවත රැක්කා. අඩුමතරමේ සුරාන්තය කියන දේ තේරුමවත් මං හරියට දැනගෙන හිටියේ නෑ. ලිංගික එක්වීමක් ඇතුළේ ඒ දේවල් ගැනත් දැනගන්න, තේරුම්ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මං දැනගත්තේ අන්තර්ජාලයෙන්. ඒත් මට ඒ දේවල් විවෘතව දහම් එක්ක කතා කරන්න හරිම ලැජ්ජාවක් තිබුණා. සමහර දේවල් අහලා දැනගන්න ඕන වුණත් ලැජ්ජාව නිසාම අහන්නෙ නැතුව හිටියා. හැබැයි යාළුවෝ එක්ක කිසි බයක් සැකක් නැතුව හිතට එන හැමදේම කියලා, ඒ දේවල් ගැන විවෘතව සාකච්ඡා කළා. පස්සේ මටම හිතුණා මට යාළුවෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් නම් ඇයි මට මගේ මහත්තයා එක්ක ඒ දේවල් කතා කරන්න බැරි? ඊටපස්සේ මට දැනෙන හැමදේම විවෘතව දහම් එක්ක කතා කළා. මුලදි මුලදි අපහසුබවක් තිබුණත් දහම් හරිම සාමාන්‍ය දෙයක් විදියට මං එක්ක ඒ දේවල් කතා කරද්දි මට ලොකු පහසුවක් දැනුණා, මට හැඟෙන දැනෙන දේවල් කියන්න.

අන්තර්ජාලයේ වුණත් ඒ සම්බන්ධව කවුරුම හරි ලියපු ලිපියක් දැක්කොත් අපිට ගතයුතු දෙයක් තියෙනවා නම් මං ඒක දහම් එක්ක හුවමාරු කරගන්නවා. ලිංගිකත්වය සම්බන්ධව තියෙන හාස්‍ය උපදවන මීම් පවා හුවමාරු කරගන්නවා. එහෙම කළාට පස්සේ ඒ දේවල් ගැන කතා කරන එක, ප්‍රශ්න අහන එක හරිම සාමාන්‍ය දෙයක් වුණා.

ගොඩක් වෙලාවට පවුල් අවුල් වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ ලිංගික ජීවිතය ඇතුළේ තෘප්තිමත්බවක් නැතිවීම කියලා මම කලිනුත් කිව්වා. ඉන්නන් වාලේ ඉන්න එකෙන් දෙන්නාටම ඒ ජීවිතේ නීරස වෙනවා. ගොඩක් වෙලාවට ගෑනු අපි උදේ ඉඳන් කරන වැඩ කන්දරාව එක්ක රෑ වෙද්දි ඇඳට වැටිලා අතපය දිග ඇරන් නිදියගන්නයි ආස. ඒත් පිරිමියෙක් තමන්ගේ බිරිඳගේ ආදරණීයබව තුළින් එයාලගේ දවසේ මහන්සිය, පීඩනය පිටකරගන්නයි කැමති. එහෙම දෙවිදියක් වුණාමත් අපි නොහිතන ගැටලු ඇතිවෙනවා. ඒ නිසා දෙන්නාගේ ඕන එපාකම් වගේම, කායික මානසික අපහසුතා ගැනත් කතාබහ කරලා අවබෝධයකට එන්න පුළුවන්නම් ගොඩක් ප්‍රශ්න ඇතිවෙන එක අඩුයි.

අපේ පාසල් අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ලිංගික අධ්‍යාපනයක් නෑනේ. අපි පාසලෙන් ඉගෙනගන්නෙත් නෑ. නිසි වයසට එද්දි දෙමව්පියෝ කියලා දෙන්නෙත් නෑ. හැමදේම අම්මලා දරුවන්ට කියලා දෙන්න ඕන කිව්වට ලිංගිකත්වය ගැන කතා කරන්නේ නෑ. ඒ වචනේ ඒ තරම් භයානකයි, නරකයි වගෙයි හැසිරෙන්නේ. මං හිතුවා මගේ දරුවෝ මගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළොත් හොඳම උත්තර එයාලට දෙනවා කියලා.

ඉතින් හැමදේටම උත්තර තියෙන්නේ අපි ගාව. අපි අපේ ඕනම දෙයක් අපේ සහකරු සහකාරිය එක්ක කතා කරලා විසඳගන්න තරමට අපි එකිනෙකාට හිටියාට වඩා කිට්ටු වෙනවා. එකිනෙකාව දැනෙන්න ගන්නවා. ඒ නිසා පවුල් ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වෙන ලිංගිකත්වය කියන කොටසෙදිත් දැනෙන හැඟෙන දේ බිරිඳ එක්ක ස්වාමියා එක්ක කතා කරන්න. ඒ වෙනුවෙන් කාලය වෙන්කරන්න. එතකොට එකිනෙකා අතරේ සමීප බව තවත් වැඩිවෙනවා. ප්‍රශ්න අඩුවෙනවා.

හෂිණි මනමේන්ද්‍ර