විශේෂාංග

මං එයාට කැමතිවු‍ණේ නෑ කියලා එයා මගේ මූණට ඇසිඩ් ගැහුවා

2020 වසරේ බොලිවුඩ් නිර්මාණයක් විදියට තිරගත කෙරුණු CHAAPAAK’ හින්දි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතිතරම්. මොකද සැරයක් බලපු හැමෝම දෙවැනි සැරේටත් බලන්න හිතෙන තරමින් ඒ චිත්‍රපටයේ කතාවස්තුව ප්‍රබලයි. මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කරපු CHAAPAAK’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නේ දීපිකා පදුකෝන්. ඇය තමයි ‘ලක්ෂ්මි අග්‍රවාල්’ නම් හිත හයිය තරුණියක වටා ගෙතුණු ඉතාමත් සංවේදී කතාවට ජීවය දෙන්නේ. ඒත් චිත්‍රපටය බලපු බොහෝදෙනෙක් නොදන්න කතාවක් තියෙනවා. ඒ තමයි ලක්ෂ්මී අග්‍රවාල්ගේ කතාව සත්‍ය කතාවක් කියලා. ඉතින් බොලිවුඩ් නිර්මාණයක් දක්වා පැමිණි ඇගේ සංවේදී එහෙත් දිරිය කතාවයි මේ.

පුංචි ලක්ෂ්මිට කුඩාකල පටන්ම තිබුණේ එකම එක සිහිනයකි. එනම් ගායිකාවක් වීමේ අහිංසක සිහිනයයි. නමුත් ඇයටත් හොරා ඇගේ දෛවය ලියැවී තිබුණේ නම් වෙනස්ම පරිච්ඡේදවලිනි. ඒ අනුවයි ඉන්දියාවේ නවදිල්ලි නුවර මධ්‍යම පාන්තික පවුලක ඉපදුණු ඇයට වයස අවුරුදු 15ක් වනවිටම විවාහ යෝජනාවක් පැමිණියේ.

“මට එච්චර පොඩි වයසකින් බඳින්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. මට කොහොමහරි ගායිකාවක් වෙන්නයි ඕනෙකම තිබුණේ. ඒ හින්දා එකපාරින්ම මං ගෙදරට ආපු යෝජනාවට අකමැති වුණා.”

තමන් ගෙන ආ විවාහ යෝජනාවට ලක්ෂ්මි එකහෙළාම අකමැතිවීම නම් තරුණයාට රිස්සුවේ නැත. එක්අතකින් ඔහුට ලැජ්ජා සිතුණි. තවත් පැත්තකින් පැමිණියේ දැඩි ආවේගයකි. එසැනින්ම දුරදිග නොබැලූ ඔහු නොහොබිනා තීරණයකට එළැඹියේය. ඒ ඔහුට අකමැති වූ එකට ලක්ෂ්මිට අමතක නොවෙන අන්දමේ පාඩමක් උගන්වන්නටය.

“ඒ 2015 අවුරුද්ද. එයා තවත් යාළුවෙක් එක්ක ඇවිත් මට ඇසිඩ් ගැහුවා. ඒ ඇසිඩ් පාර හරියටම වැදුනේ මගේ මූණ හරියට. ඒත් මං මැරු‍‍ණේ නෑ.”

තමන් පෙම් කළ යුවතියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකිරීමට තරම් තරුණයෙක් සහැසිවන්නේ නම් එතැන ආදරයක් තියෙන්නට නොහැකිය. කෙසේ හෝ මෙකී තරුණයා කළ දෙයින් ලක්ෂ්මිගේ මුහුණ පෙදෙසට දැඩි හානියක් සිදුවිය. වෛද්‍යවරුන්ගේ වෙහෙස මහන්සිය නිසා ඇයට ජීවත්වෙන්නට වාසනාව ලැබුණද එක්දෙයක් ඇයට සහමුලින්ම නැතිවී ගියාය. ඒ ලක්ෂ්මි උපතින් ගෙන ආ ඇගේ පෙනුමයි. කණ්ණාඩියෙන් මුහුණ බැලූ විට තමන්ට තමන්ව හඳුනාගත නොහැකි තරමටම එය ඇසිඩ් ප්‍රහාරයෙන් පසු විකෘති විය.

“මං එකදිගට ඇඬුවා. නොකා නොබී ඇඬුවා. ඇයි එයා මට මෙහෙම දෙයක් කළේ කිය කියා ඇඬුවා. දන්නවද මගේ පවුලේ අයට මට වුණු දේ දරාගන්න බැරිවුණා. එහෙම දරාගන්න බැරිව මගේ තාත්තා, මගේ සහෝදරයා මට නැතිවෙලා ගියා. අන්තිමට මට කියලා මගේ ගාව ඉතුරුවුණේ අම්මා විතරයි.”

දින ගණන් හඬාවැටුණු ලක්ෂ්මිගේ කඳුළු පිසින අතරවාරයේ ඇගේ මව දියණියට අපූරු පාඩමක් ඉගැන්වුවාය. ඒ හිත හයිය ගැහැනියක් වෙන හැටිය. එතැන් පටන් ඇය අපූරු වැඩකටයි අතගැසුවේ. ඒ එරටේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් නොබියව ඉදිරියට පැමිණ සටන්කරන්නටය. ඇයගේ ප්‍රධාන අරමුණ වූයේ ඇසිඩ් අලෙවිය ඉන්දියාව තුළ සම්පූර්ණයෙන්ම නතරකිරීමයි. එහිදී ‘Stop Sale Acid’ නමින් පදනමක් පිහිටුවාගෙන ඇසිඩ් අලෙවිය නතර කිරීමට බලකරමින් මෙන්ම ඇසිඩ් ප්‍රහාරවලට ගොදුරු වූ තරුණියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අත්සන් 27,000කින් සමන්විත පෙත්සමක් පවා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළාය. එහි සුබවාදී ප්‍රතිඵලයක් වූයේ ඇසිඩ් අලෙවිය පිළිබඳ නව නීති සම්පාදනය කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධ්‍යම හා ප්‍රාන්ත රජයන්ටත්, ඇසිඩ් ප්‍රහාරවලට එරෙහිව නඩු පැවරීම පහසු කරමින් ඉන්දියානු පාර්ලිමේන්තුවටත් නි‍යෝගයක් ලැබීමයි. එම පුවත ඉන්දියාවේ ප්‍රසිද්ධම පුවත්පත වන ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පතේ පවා පළවිය.

“මේ වෙනකොටත් මගේ අරමුණු සාර්ථකයි. දැන් දැන් මං වගේ ඇසිඩ් ප්‍රහාරවලින් නොමැරී බේරුණු අය එළියට එනවා. ඔවුන් මෙච්චර දවසක් හිටියේ ලෝකයට හොරෙන්. ඒත් දැන් ඔවුන් තමන්ගෙ මුහුණු පෙන්නන්න පටන්අරන්. ඒවා සටන් බවට පත්වෙද්දි මිනිස්සු ඔවුන්ට සංවේදී වෙනවා. මීට කලින් ඉන්දියානු සමාජය ඇසිඩ් ප්‍රහාර ගැන කතා කළේ නෑ. මං මේ කරන්නේ රජය කරන්න ඕන දෙයක්.”

එහෙත් ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වූවන් වෙනුවෙන් ලක්ෂ්මිට පින්සිද්ධ වෙන්න නීතිය ක්‍රියාත්මක වුවද තවමත් ඉන්දීය අධිකරණ පද්ධතිය ගැන ඇයට තිබෙන්නේ කළකිරීමකි. ඇය පවසන්නේ එය වේගවත් වුවහොත් ඇසිඩ් ගැසීම වැනි සාපරාධී අපරාධ කිරීමට මිනිස්සු බියවෙනු ඇති බවයි. ඒ නිසා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට නම් නම් රජය මීට වඩා උනන්දු විය යුතු බවයි ලක්ෂ්මිගේ අදහස.

“පෙනුමෙන් පොහොසත් කෙල්ලෙකුට වඩා හිත හයිය කෙල්ලෙකුට කරන්න පුළුවන් දේවල් බොහොමයි.”

ඒ ලක්ෂ්මි තමන් ගැන හිතන හැටිය. උපතින් ලද සුරූපී පෙනුම ඇයට අහිමිව ගියද ඈ තමන්ගේ හිතේ හයියෙන් නැගිටගත් හැටි සැබැවින්ම ආදර්ශමත්ය. ඒ නිසාම 2014 වසරේදී ඇය ‘ලෝකයේ ධෛර්යමත්ම කාන්තාව’ (International Women of Courage) යන සම්මානයෙන් පිදුම් ලැබුවේ එවකට ඇමෙරිකානු ජනාධිපතිව සිටි බැරැක් ඔබාමාගේ ආර්යාව වූ මිෂෙල් ඔබාමා අතිනි. එසේම එකී වසරේදීම ND TV ආයතනය විසින් ඇයව ‘වසරේ ඉන්දියානුවා’ ලෙසද ප්‍රකාශයට පත්කළාය. එයින් වසර කීපයක් ගිය තැන ගෙවී ගිය 2019 වසරේදී ඇය ‘International Women Empowerment Award 2019 from IWES’ නම් යුනිසෙෆ් සම්මානයෙන් මෙන්ම ඉන්දියානු ළමා හා කාන්තා අමාත්‍යාංශ සම්මානයෙන් ආදී සම්මානවලින් පිදුම් ලැබුවේ ලක්ෂ්මි යන්න ලෝකයේ ඇසිඩ් ප්‍රහාරවලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර හඬ බවට පත්වෙමිනි. එම නිසාම ඇගේ කතාව අළලා 2020 වසරේදී ‘CHAAPAAK’ නමින් බොලිවුඩ් නිර්මාණයක් පවා බිහිවිය. එහි ලක්ෂ්මිගේ චරිතයට පණපෙව්වේ බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකෝන් විසිනි.

“මං හැමෝටම ඇහෙන්න මෙහෙම දෙයක් කියන්න කැමතියි. කෙනෙක් අපිට පහරදෙනවා නම් පහරදෙන්නේ එක පාරයි. ඒත් ඒ පහරදීමෙන් පස්සේ සමාජය අපිට හැමවෙලේම පහරදෙනවා. මං අත්දැකීමෙන් දන්නවා ඒක හරිම වේදනාකාරීයි. අන්න ඒ නිසා තමයි මං වගේ සිද්ධිවලට මුහුණදීපු අය සියදිවිනසාගන්න තැනට සමාජය විසින් තල්ලුකරලා ගන්නේ. මං කියන්නේ එහෙම අය ගොදුරු විදියට සලකන්න එපා. ඒ අයට මරණයත් එක්ක සටනක් කරලා ජීවිතය ගලවගත්ත සටන්කරුවෝ විදියට සලකන්න. ඔබ අතරත් ඇති ඇසිඩ් ප්‍රහාරවලින් ජීවිතය ගලවගත්ත එහෙම සටන්කරුවෝ. ඉතින් ආයෙත් ඔවුන්ගේ ජීවිත දුෂ්කර කරන්න එපා.”

ඒ මගෙන් ඔබෙන් පමණක් නොව මුළුමහත් ලෝකයෙන්ම ලක්ෂ්මි කරන අහිංසක ඉල්ලීමකි.

 

රුවන් එස්.සෙනවිරත්න