ලොකු පේස්ට්‍රි කඩේක අයිතිකාරියක් වෙන්න ඕනේ නම් මුලින් ගේ ඉස්සරහ පොඩි වඩේ කඩයක් හරි දාගන්න
‘ඔයාට ටවුන් එකේ තියෙන ලොකුම පේස්ට්‍රි කඩේ අයිතිකාරිය වෙන්න ඕනේ නම් මුලින්ම ගේ ඉස්සරහින් පොඩි වඩේ කඩයක් දාගන්න. ඒත් එක්කම ඔයාටම කියලා අනන්‍යතාවක් හදාගන්න. අන්න එතකොට ඔයාගේ කතාවේ රැජින වෙන්න ඔයාට පුළුවන්. හරියට මේ මම වගේ.’
ෆේස්බුක් එකේ උඩ පහල යද්දි දැකපු ඔය ලස්සන වචන ටික ගාව මගේ ඇස් දෙක නතර වුණේ ඉබේටම වගේ. කතාව ඇත්ත. ගොඩක් මිනිස්සු පීනන්නේ කොහොමද කියලා කල්පනා කරන්නෙ ගොඩ ඉඳගෙන. හැබැයි පීනන්න ඕනෙ නම් වතුරට බහින්න වෙනවා කියන එකයි ඒ වචන ඇතුළේ තිබුණේ. ඔය වචන ටික ලියලා තිබුණු ක්වීන්ස් බේකරි (Queen’s Bakery) කියන පිටුව ක්ලික් කරලා බැලුවේ මම වගේ රැජිනක් වෙන්න කියලා කතාවකුත් තිබුණු නිසයි. ටිකක් හොයලා බලද්දි තේරුණේ ඒක ලස්සන තරුණියක් කරන ලංකාවේ ප්‍රසිද්ධ බේකරියක් කියලා. සාමාන්‍යයෙන් බේකරි කරන්නේ පිරිමි උදවියනේ. ඉතින් කෙල්ලෙක් තනියම බේකරියක් කරනවා කියන එක ටිකක් විශේෂයි කියලා හිතුණු නිසා අපි ක්වීන්ස් බේකරියේ අයිතිකාරිය ලිහිණි තත්සරණි අබේරත්නත් එක්කලා ටිකක් කතා කළා.
“මගේ උපන් ගම ගම්පහ. අධ්‍යාපන කටයුතු ඉවර වෙලා පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. 2018 දී මම විවාහවෙලා මීගමුවට ආවා. ඒත් එක්කම මට රස්සාවෙන් අයින් වෙන්න වුණා. කසාඳ බඳිනකොට මම හොඳට කෑම හදන්න දන්නේ නැහැ. එත් ඉතින් ගෙදර නිකන් හිටපු නිසා මම යූටියුබ් එකෙන් බල බලා එක එක කෑම ජාති හදන්න පටන්ගත්තා.”
වැඩි කාලයක් යන්න කලින් රස රස කෑම ජාති ගොඩක් හදන්න ලිහිණි ඉගෙනගත්තලු. හදන කෑමවල රස රහකුත් තියෙන නිසා ගෙදර නිකන් ඉන්න එකේ පුංචිවට බේකරියක් දාගන්න පුළුවන් නම් කියලා ඔය අතරේ ඇයට හිතිලා.
“ඒකට ගොඩක් මහන්සි වෙන්න වෙන නිසා මුලදි හස්බන්ඩ් වැඩිය කැමති වුණේ නැහැ. හැබැයි මගේ අත්ගුණේ දන්න නිසා වැඩේ සාර්ථක වෙයි කියන එක ඔහුත් කිව්වා. කොහොමහරි කොවිඩ් කාලේ මම පුංචිවට වැඩේ පටන්ගන්න හිතුවා. බිස්නස් එකට උවමනා කරන භාජන, අවන් වගේ දේවල් ගන්න හස්බන්ඩ් මුදලක් දුන්නා. ඒ සල්ලිවලින් පොඩි අවන් එකක් ගත්තා. ඕඩර් ආවොත් ලොකු පිරිසකට තනියම කෑම හදාගන්න පුළුවන් වෙයිද, එතකොට කෑම ඩිලිවරි කරන්නේ කොහොමද කියන අභියෝගයත් නොතිබුණා නෙමේ. හැබැයි ඒ දේවල් කොහොමහරි කරනවා කියන ශක්තිය මගේ හිතේ තිබුණා.”
මුලදි රෝල්ස්, කට්ලට්, පැටිස්, සැන්ඩ්විච් වගේ ඕඩර් ටිකක් ලැබුණේ අහල පහල අයගෙන්ලු.
“මුල්ම මාසේ ලැබුණේ ඕඩර් දෙකයි. පස්සේ තව එක දෙක ඕඩර් වැඩි වුණා. ගත්තු අය කෑම හරිම රසයි කිව්වා. පස්සේ කට්ලට්, පේස්ට්‍රි වගේ දේ වලට අමතරව බර්ගර්, සබ්මැරීන් එහෙමත් ඉල්ලුවා. හැබැයි ඉතින් ලොකු ප්‍රමාණයක් හැදුවේ නැති නිසා ලොකු ලාබයක් නම් ලැබුණේ නැහැ.”
ලිහිණිගේ කෑමවල වරුණේ කටින් කට ගිහිල්ලා දවසට ඕඩර් පහ හයක් ලැබෙන්න මාස හයක් විතර ගත වුණාලු. ඒත් එක්ක එකතු කරගත්තු පුංචි ලාබෙන් ඇය ව්‍යාපාරයට අවශ්‍ය අනෙකුත් කළමනා ටික අරගෙන.
“මගේ කෑමවලට ඕඩර් ආවේ නැත්තේ ගොඩක් අය මාව නොදන්න නිසයි. ෆේස්බුක් පේජ් එකක් හදන්න හිතුවේ ඒකයි. ඔය අතරේ යූටියුබ් චැනල් එකකුත් පටන්ගත්තා. ෆේස්බුක් ජෙප් එකේ එදිනෙදා ඕඩර්වල ෆොටෝ දාද්දි ඔන්න ගොඩක් අය මගේ ගැන දැනගත්තා. නොහිතුව විදියට මට ඕඩර් එන්න ගත්තේ ඒකත් එක්ක.”
ඇයට සැමියගෙන් උපන්දින තෑග්ගක් විදියට ලොකු අවන් එකක් ලැබුණේ ඔය අතරෙලු. ලොකු අවන් එක නිසා ඇයට දවසේ හදන කෑම ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් වෙලා. කොහොමහරි 2020දී කෑම ජාති කිහිපයකින් වැඩේ පටන්ගත්තු ඇය අද පාන්, බනිස් ජාති 200කට අධික ප්‍රමාණයක් හදන ෆේස්බුක් එකේ නම ගියපු බේකරිකාරියක්.
“දැන් දවසකට කරගන්න බැරිතරම් ඕඩර් එනවා. තනියම කරන නිසා ලොකු ප්‍රමාණවල ඕඩර් බාරගන්නේ නැහැ. ෆැමිලි පාටි සහ කෑලි 50ට අඩු අයිටම්ස් බාරදෙන ඕඩර්ස් 15ක් දවසකට බාරගන්නවා.”
මේ බේකරියට මෙච්චර ඕඩර් එන්නේ කෑමවල රසය වගේම ප්‍රමිතිය ගැනත් සෑහෙන හිතන නිසයි.
“කිසිම දවසක කෑම හදලා ෆ්‍රිජ්වල දාලා විකුණන්නේ නැහැ. අනික මේවට ගන්නෙත් හොඳම අමුද්‍රව්‍ය. රෝල්ස්, කට්ලස්, පැටිස්වලට මාළු ජාති තුනක් දාන්නේ රස තුනක් ගන්න. උදේ ඕඩර් ටිකට වෙනම කෑම හදලා ඒ ටික මමම ගිහින් බාරදෙනවා. ආයේ හවස්වරුවට කෑම හදනවා. කොහොමහරි දවසට දෙපාරක් කෑම හදනවා. කෑම හදන්නම වෙනම බේකරි කොටසක් තියෙනවා. හැමදාම රෑ 11ට නිදාගෙන ආයේ පාන්දර තුනට ඇහැරෙනවා. නැත්නම් සේරම වැඩ ටික කරගන්න වෙලාව මදි.”
මේ බේකරියේ ලූනු ගෙඩිය සුද්ද කරන තැන ඉඳලා අවසානයට කෑම හැදෙන තැන දක්වා හැමදේම කරන්නේ ලිහිණි තනියම.
“හස්බන්ඩ්නුත් රැකියාවක් කරන නිසා එයාට උයන වැඩේට උදව් කරන්න අමාරුයි. හැබැයි ගොඩක් වෙලාවට ඩිලිවරි කරන්න ඔහුත් මාත් එක්ක එනවා. මම වගේම ලොකු කැපකිරීමක් ඔහුත් මේ වෙනුවෙන් කරනවා.”
කතාව අතරතුරේදි ඇය සැමියා යෙෂ් පෙරෙයිරා, අම්මා, තාත්තා වගේම ඇගේ මල්ලිවත් මතක් කළා. ඔය අතරේ අපි ඇගෙන් ඇහුවේ මෙහෙම ප්‍රශ්නයක්.
*අමුද්‍රව්‍යවලයි බේකරි නිෂ්පාදනවලයි මිල වැඩි කළ නිසා තාමත් බිස්නස් එකෙන් ලාබයක් ගන්න පුළුවන්ද?
“මෙහෙමයි. මූල්‍ය කළමනාකරණය ගැන දැනුමක් තියෙනවා නම් මේ වගේ අමාරු කාලෙක වුණත් ලාබයක් ලබාගන්න බැරි නැහැ. මම මටත් ලාබයක් තියාගෙන පාරිභෝගිකයන්ටත් පාඩු නොවෙන විදියට සැලසුමක් ඇතුව මූල්‍ය පැත්ත කළමනාකරණය කරනවා. ඒ නිසා මට නම් හොඳ ලාබයක් ලබාගන්න අමාරු නැහැ.”
ලිහිණි කිව්වේ හිනාවෙන ගමන්. කතාව අවසාන කරන්න කලින් ඇයට පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු හොඳම ප්‍රතිචාරය මොකක්ද කියන එක අහන්නත් අපි අමතක කළේ නැහැ.
“කෑම ගන්න ගොඩක් උදවිය කෑම රසයි කියලා මට කියනවා. ඒක හිතට හරි සතුටක්. දවසක් ජපානේ ඉන්න ගෑනු ළමයෙක් එයාගේ ගෙදර අයට මගෙන් කෑම ටිකක් ගත්තා. කොහොමහරි ගෙදර අය ඒවා කාලා කෑම ගොඩක් රසයි කියලා අර ජපානේ ඉන්න ගෑනු ළමයට කියලා. ඒ පාර එයාටත් මගේ කෑම කන්න හිතිලා ජපානෙට ඕඩර් එකක් එවන්න කියලා පොරේ. ඒත් ඉතින් ජපානෙට සේවරි කෑම යවන්න අමාරුයිනේ. ඒ නිසා මම ඒක එයාට පැහැදිළි කළා. ඒත් එයා එහෙම මගෙන් ඉල්ලපු එකම මට විශේෂයක්.”
ඒ අමතක නොවෙන සිදුවීම මතක් කරන ගමන් ‘ධරණි’ කියවන ඔබ වෙනුවෙනුත් ඇය වචනයක් කිව්වා.
“බේකරියක් කරනවා කියන එක ලේසි නැති නිසාදෝ ගොඩක් වෙලාවට මේ කර්මාන්තයේ ඉන්නේ පිරිමි අය. හැබැයි අද වෙනකොට ගෑනු රස්සා පිරිමි රස්සා කියලා රැකියා බෙදීමක් නැහැ. පිරිමින්ට කියලා ලේබල් ගහලා තියෙන රැකියා කරන කාන්තාවෝ කොච්චර නම් ඉන්නවද. අනික තමයි 8-5 රස්සාවක් කරන කෙනෙක් හොයනවට වඩා හොඳ මුදලක් අද මම මාසිකව හොයනවා. ඉතින් මම අනිත් අයටත් කියන්නේ අපි හැමෝටම සැඟවුණ දක්ෂතාවයක් තියෙනවා. අන්න ඒක අඳුනගෙන ඒක හොඳින් පුහුණු කරලා තමන්ගේ දෙයක් පටන්ගන්න. රස්සාවක් කරන ගමන්ම හරි කමක් නැහැ. මොකද තමන්ගේ සාර්ථකත්වය තියෙන්නේ තමන් ගාවම විතරයි. ඒකට උනන්දුවයි, උත්සාහයයි, කැපකිරීමයි තියෙනවා නම් ඇති.”
රුවන් එස්. සෙනවිරත්න
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්