විශේෂාංග

ලංකාවේ මිනිස්සුන්ගේ හිත හොඳ නිසා බඩේ හිටිය පැටියා බේරුණා

දරුවෙක් ලැබෙන්නට සිටියදී නානාප්‍රකාර දෑ කන්නට දොළදුක් එන්නේ මෙහේ අම්මලාටය. එහෙත් පිටරට අම්මලාගේ දොළදුක් ඊට වඩා වෙනස්ය. ඔවුන් කැමති ඒ කාලයේ කොහේ හෝ සංචාරය කරන්නටය. රුසියානු ජාතික ගැබිනි කාන්තාවක් වූ ලීලා පසුගියදා ලංකාවට පැමිණියේද එවැනි සංචාරයකටය. දින කිහිපයක් මෙරට සංචාරය කර දරු ප්‍රසූතිය වෙනුවෙන් මානසික සූදානමක් ලබන්නට ඇයට උවමනා විය. ලීලා ඒ වෙනුවෙන් තෝරාගත්තේ සංචාරකයින්ගේ තෝතැන්නක් බඳු වූ අම්බලන්ගොඩ මුහුදු තීරයයි.

මං ගොඩාක් ආස ලංකාවේ මුහුදු වෙරළට. ඉතින් මං ලංකාවේ හිටපු දවස්වලින් වැඩි වෙලාවක් හිටියේ මුහුදු වෙරළේ. ඒ ගොඩාක් වෙලාවට මං මුහුදට බැහැලා නෑවා.”

ගංඟාවක ඇළක දොළක නානවාට වඩා මුහුදේ නෑම ආශ්වාදජනකය. රැල්ල වෙරළ සොයා එන විට ඒ රැල්ලේම වෙරළට ඇදී ඒමත් නැවත රැල්ල මුහුදට යනවිට ඒ පිටුපස යාමත් මුහුදට පෙම්බඳින කාහටත් හති නොවැටෙන අපූරු සෙල්ලමකි. එදා ලීලා ද පැය ගණනක් සිටියේ ඒ සෙල්ලමේය. නමුත් ඇයට හොරා මාරයාද වෙනත් සෙල්ලමක් කරමින් සිටියේය. ඒ ඇය ගැඹුරු මුහුද දෙසට රැගෙන යාමේ සෙල්ලමයි.

මට තේරුණේ නෑ මම එච්චර දුරක් මුහුදේ ඇවිත් කියලා. ඇත්තමයි මට කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. එකපාරම මාව ගිලෙන්න ගත්තා. උදව් ඉල්ලලා කෑ ගැහුවත් කාටවත් ඇහුනේ නෑ.”

ඔය අතරවාරයේ සංජීව කුමාර නම් ලාංකික තරුණයෙක්  මුහුදු වෙරළ පේනමානයේ හෝටලයක ආහාර ගනිමින් සිටියේය. ඔහු එම ප්‍රදේශයේම සංචාරක නිකේතනයක සේවකයෙකි. ලීලාගේ මොකක්දෝ වාසනාවකට සංජීවට ඇයව පෙනුණි. ඔහුට හිතන්නට වෙලාවක් තිබුණේ නැත. කමින් උන් කෑම පිඟාන පසෙකට දැමූ ඔහු ලීලා බේරාගැනීමට මුහුද දෙසට දිව්වේය. පසුව තම දිවි පරදුවට තබා මුහුදට පැන ජල රකුසා සමඟ පොර බැදුවේය. අවසන ඔහුගේ උත්සාහය සාර්ථක විය. ලීලා බේරාගැනීමට ඔහුට හැකියාව ලැබුණි.

ඇත්තටම මට හිත හිතා ඉන්න වෙලාවක් තිබුණේ නෑ. මොකද එක තත්පරෙත් ඇති ජීවිතේ නැතිවෙන්න. මං මුහුදට පැනලා ඇය ගාවට පීනුවා. ඊටපස්සේ කිව්වා කලබල නොකර ඉන්න මං ආවේ බේරගන්න කියලා. එයත් ඒ විදියටම මං කියපු දේ ඇහුවා. ලීලා ගොඩට ආපු ගමන් කළේ මාව බදාගෙන අඬපු එක. ඒ වෙලාවේ මටත් ලොකු සතුටක් දැනුණා ලීලාව බේරගන්න ලැබුණු එකට.”

එසේම ලීලා ද තම ජීවිතයේ මුහුණ පෑ බිහිසුණුම අත්දැකීම ගැන මෙසේ පවසන්නීය.

එදා මං ගිලෙන්න ගිය හැටි මතක් වෙනකොට මට තාමත් බය හිතෙනවා. ඒ සිද්ධිය මතක් කරන්නවත් මං ආස නෑ. ඒ වෙලාවේ මාව බේරගත්ත ලංකාවේ තරුණයට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරුණේ නෑ. මං එයාව බදාගෙන ඇඬුවේ ඒකයි. ඇත්තටම ඔහු හින්දා ජීවිත එකක් නෙවෙයි දෙකක් බේරුණා.”

එදා සංජීව, ලීලා නොදකින්නට ඇය අද ජීවතුන් අතර නොසිටින්නට පවා ඉඩ තිබුණි. එහෙත් ඇගේ වාසනාවට සියල්ල සිදුවුණේ සුබවාදී අයුරිනි. ඒ නිසාම ඇය එකී සිදුවීමෙන් පසු ලංකාවේ මිනිසුන් අගයන්නට කටයුතු කර තිබුණේ මෙලෙසිනි.

ඇත්තටම ලංකාවේ මිනිස්සු හරිම හොඳයි. එයාලා හරිම යහපත් අය. ඕන කෙනෙක්ට උදව් කරනවා. මං ලංකාවට ගොඩක් ආදරෙයි. ලංකාවේ මිනිස්සුන්ට ආදරෙයි. මේ සිද්ධියෙන් පස්සේ ඒ ආදරේ තවත් වැඩිවුණා.”

ලංකාව මේ වනවිට මුහුණපා ඇති දැවැන්ත ආර්ථික අර්බුදය නිසා ඇය සමස්ත ලෝකවාසී සංචාරකයින්ගෙන් ආදරණීය ඉල්ලීමක්ද කරන්නට කටයුතු කර තිබුණි.

මට දැනගන්න ලැබුණා ශ්‍රී ලංකාව ඉන්නේ අමාරු අඩියක කියලා. ඒ නිසා මං ලෝකේ වටේම ඉන්න සංචාරකයින්ට කියනවා ඔබේ සංචාරක රට විදියට ලංකාව තෝරගන්න කියලා. මොකද ලංකාවේ බලන්න ගොඩාක් තැන් තියෙනවා. ඒ වගේම ලංකාවේ මිනිස්සු ඔබවත් ආදරෙන් බලාගනිවී.”

මෙසේ ලංකාව ගැන ගුණ වයන ලීලා නුදුරේදීම මව් පදවිය ලැබීමට දින ගනිමින් සිටින්නීය. ඉතින් නිසැකවම ඇය මවක් වූ දාට ඇගේ දරු පැටියාට හරි අපූරු කතන්දරයක් කියාදෙනු ඇත. ඒ ශ්‍රී ලංකාව කියා හරි අපූරු මිනිසුන් ජීවත්වන සුන්දර රටක් මේ ලෝකයේ ඇති බවය.

රුවන් එස්.සෙනවිරත්න