ඉවුම් පිහුම්

සෝයාමීට් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය:
*තම්බා, කුඩාවට කපාගත් සෝයාමීට් පැකට් එකක් (90g-100g)
*තම්බා පොඩිකරගත් අල 250g
* කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 4-5ක්
* කුඩාවට කපාගත් බී ළූනු ගෙඩියක්
* කුඩාවට කපාගත් සුදුලූනු බික් 5-6ක්
* තලාගත් ඉඟුරු අඟලක කැබැල්ලක්
* සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක්
* තලාගත් කරදමුංගු කරල් 2-3ක්
* තලා ගත් කරාඹුනැටි 3-4ක්
* තලාගත් කුරුදු අඟලක කැබැල්ලක්
* තුනපහ මේස හැඳි එකක්
* කෑලි මිරිස් මේස හැඳි එකක්
* ගම්මිරිස් තේ හැඳි එකක්
* ලුණු රස අනුව
* බැදීමට තෙල්

බැටරය සෑදීමට…
* පාන් පිටි අඬු කෝප්ප එකක්
* බිත්තරයක්
* වතුර අඬු කෝප්ප එකක්
* රස අනුව ලුණු, ගම්මිරිස්
* බිස්කට් කුඩු

සාදන ක්‍රමය:
සාස්පානක් ලිප තබා එයට තෙල් මේස හැන්දක් පමණ දමා රත් කරගන්න. තෙල් ටික රත් වෙද්දී එයට එයට කරදමුංගු, කරාබුනැටි හා කුරුඳු එකතු කර සුවඳ එන තුරු බැදගන්න.

මීළඟට කරපිංචා, අමුමිරිස්, බී ලූණු, සුදුලූණු සහ ඉඟුරු එකතු කර තෙම්පරාදු කරන්න.

දැන් මෙයට කෑලි මිරිස්, තුන පහ සහ කහ එකතු කර විනාඩියක් පමණ මද ගින්නේ තෙම්පරාදු කරන්න.

තෙම්පරාදු සුවඳට එද්දි සෝයාමීට් එකතු කර හොඳින් මිශ්‍ර කර විනාඩියක් පමණ තෙම්පරාදු කරන්න.

මීළඟට පොඩි කර ගත් අල එකතු කරන්න. රස අනුව ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් මිශ්‍ර කර විනාඩි 2ක් පමණ පිසගන්න.

දැන් ලිපෙන් බාගෙන දෙහි බෑයක ඇඹුල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. නිවෙන්නට පසෙකින් තබන්න.

හොඳින් නිවුණු පසු ලොකු දෙහි ගෙඩි ප්‍රමාණයට බෝල සාදාගන්න. අතින් තරමක් පැතලි කර අවශ්‍ය හැඩය සාදා අධි ශීතකරණයේ විනාඩි 5ක් පමණ තබන්න.

දැන් බැටරයේ අමුද්‍රව්‍ය වලින් බිස්කට් කුඩු හැර අනෙක් සියල්ල බඳුනකට දමා මිශ්‍ර කරන්න. තරමක් උකු බැටරයක් සාදාගන්න.

සාදාගත් කට්ලට් බැටරයට දමා බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ බදින්න. රන්වන් පැහැයට හැරුණු පසුව කට්ලට් ටික ගෙන කඩදාසියක් මතට දමා තෙල් බේරුණු පසු ව තක්කාලි සෝස් සමග පිළිගන්වන්න.