නවතම ප්‍රවෘත්ති

විදුහල්පති කෙනෙක් ඇයි ගවුම් ඇඳලා ෆොටෝ දාන්නේ කියලා සමහරු අහනවා

රුසියාවේ මහා ගත්කරු විදියට හඳුන්වන ලියෝ ටෝල්ස්ටෝයි කතුවරයෙක් වගේම ගුරුවරයෙක්. ටෝල්ස්ටෝයිගේ කතු භූමිකාව ප්‍රකට වුණත් ගුරු භූමිකාව එච්චරම ප්‍රකට නැහැ.

ටෝල්ස්ටෝයි පාසලක් හදනවා. පාසලේ මුල් ගුරුතුමා වගේම එකම ගුරුතුමත් ඔහු. මේ පාසලට දරුවන්ට කැමැති වෙලාවක යන්න එන්න පුළුවන්. පොතේ පාඩම් උදේට විතරයි. දවල්වරුවේ ලියෝ දරුවෝ එක්ක එකතු වෙලා සිංදු කියනවා, නටනවා, දරුවන්ට කතන්දර කියලා දෙනවා. මේක හරි අපූරූ ඉස්කෝලයක් නිසා දරුවොත් ඔහුට සැලකුවේ යාළුවෙක්ට වගේලු.

හැබැයි ලියෝගේ ඉස්කෝලේ දරුවන්ට මුල් ගුරුවරයා එක්ක තිබුණු සමීප බැඳීම අපේ රටේ ගොඩක් දරුවන්ට නැහැ. ඒකනේ ඉස්කෝලේ කාලේදි ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ගාවින් යන්නත් අපි බය… ප්‍රින්සිපල් එද්දි මහා භයානක සත්වයෙක් දැක්කා වගේ රොත්ත පිටින් පංති කාමරවලට දුවපු අතීතයක් මට වගේම බහුතරයකට තියෙනවා.

හැබැයි මාතලේ සුමංගල විද්‍යාලයේ දරුවොත් අර ලියෝගේ පාසලේ දරුවෝ වගේයි. මේ පාසලේ දරුවන්ට ඕන වෙලාවක බය නැතිව විදුහල්පතිගේ කාර්යාලයට යන්න එන්න පුළුවන්ලු. ඒ නිසා ඉස්කෝලේ හැම දරුවෙක්ම ප්‍රින්සිපල්ව මුණගැහිලා “බුදුසරණයි, ටටා බායි” කියලලු ගෙවල්වලට යන්නේ. මේ විදුහල්පතිත් ලියෝ වගේම දරුවෝ එක්ක නටනවා, ගයනවා, සිංදු කියනවා.

හැබැයි මේ පාසලේ ඉන්නේ විදුහල්පතිවරයෙක් නෙමෙයි දරුවන්ට බොහොම ලෙන්ගතු විදුහල්පතිනියක්.

ඔන්න දවසක් ටිකක් දවල් වෙලා අම්මා කෙනෙක් ඉස්කෝලේට දුවගෙන දුවගෙන ආවා. දරුවෝ දෙන්නට දවල්ට කෑම අරගෙනයි අම්මා ඇවිත් තිබුණේ. දරුවෝ කෑම අමතක කරලා ඇවිල්ලා කියලයි මම හිතුවේ.

මේ දරුවෝ දෙන්නාගේ තාත්තා ගහකින් වැටිලා. ඉතින් හරියට කන්න බොන්න නැතිලු. උදේට කහට බීලලු ඉස්කෝලේ එන්නේ. අනේ අර අම්මා කොහෙන් හරි කෑම ටිකක් හොයාගෙන තමයි ඇවිත් තිබුණේ. එදා ඉඳලා මම ඒ දරුවන්ට ගෙදරින් කෑම ගේනවා. දරුවෝ දෙන්නත් වැඩේට හරි ආසයි. ප්‍රින්සිපල්ගේ කෑම කන එක පොඩ්ඩෝ දෙන්නට ලොකුකමක්ලු. හැමෝත් එක්කම ආඩම්බරෙන් ඒ ගැන කියනවලු. මම ඉන්නේ ග්‍රාමීය පාසලකනේ. ඉතින් ඉස්කෝලේ ගොඩක් දරුවන්ට ආර්ථික ප්‍රශ්න. මම ඇතුළු කාර්යයමණ්ඩය අපිට පුළුවන් විදියට ඒ හැම දරුවෙක්ටම උදව් කරනවා.”

දරුවෝ ගැන ඇගේ හිතේ තියෙන බැඳීම පැහැදිලි කරන්න ඒ වචන ටිකම ඇති. විදුහල්පති කෙනෙක් කිව්වහම අපේ ඔලුවට එන්නේ ටිකක් තලත්තෑනි වයසක කෙනෙක්වනේ. හැබැයි ඇය බොහොම තරුණයි. සුන්දරයි. අද ‘ධරණී’ කවරය හැඩවෙන්නේ ඇගේ ආදරණීය රුවෙන්. ඇය සුභාෂණී ඒකනායක. විදුහල්පතිනියක් වගේම ඇය ප්‍රකට සාහිත්‍ය විචාරිකාවක්.

ලෝයර්ස්ලා අඳින සුදු සාරියට මම හරි ආසයි. ඒ නිසා පුංචි කාලේ මට ඕන වුණේ නීතීඥවරියක් වෙන්න. එක එක කාලෙට එක එක හීන දැක්කා. කොහොම හරි යමක්කමක් තේරෙන කාලෙදි මට ඕන වුණේ ගුරුවරියක් වෙන්න.

2005දී මාතලේ දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵලයකුත් එක්ක විශ්වවිද්‍යාල වරම් ලැබුණා. හැබැයි ගුරුවරියක් වෙන්න ඕන නිසාම කැම්පස් නොගිහින් විද්‍යාපීඨ ගියා. පස්සේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාවට නැටුම් ගුරුවරියක් විදියට පත්වීම ගත්තා. මාතලේ සංඝමිත්තා ඉස්කෝලෙත් සේවය කළා. වයසින් අඩු වුණත් සේවා කාලය වසර පහට වැඩි නම් විදුහල්පති විභාගයට ලියන්න පුළුවන්. ඒ විභාගය සමත් වෙලා නියෝජ්‍ය විදුහල්පති විදියට මාතලේ සුමංගල විද්‍යාලයට ආවා. වසරකින් පාසලේ විදුහල්පති විදියට පත්වුණා.”

 

*තරුණ වයසකින් විදුහල්පතිනියක් වෙන එක මොන වගේ අත්දැකීමක්ද?

ඒක හරි විශේෂ අත්දැකීමක්. මටත් මගේ පාසලේ දරුවන්ගේ වයසෙම පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා ඉස්කෝලේ දරු පැටව් මට හරි ළඟයි. ළමයෙක්ට අකුරු ලියන්න බැරි නම් මට දැනෙන්නේ මගේ දරුවෙක්ට අකුරු බෑ වගෙයි. ඉතින් මට හිතෙන්නේ මේ වගේ තනතුරුවලට තරුණ අයත් එන්න ඕනේ. පරම්පරා අතර දුරස්ථ බව අඩු වුණහම දරුවන්ගේ අදහස් තේරුම් අරන් ඔවුන් එක්ක පෑහිලා වැඩ කරන්න ලේසියි.”

ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පිය පුතු සම්බන්ධයක් තියෙන්න ඕනය කියලා වග්ග පාලියේ බුදුන් දේශනා කරලා තියෙනවා. පාසලේ දරුවන්ට ඈ සලකන්නේ ඇගේම දරුවන්ට වගේ බව‍යි ඇයත් කියන්නේ.

දරුවෙක් සමාජයට යන්නේ පාසලෙන්. එතැනදි ගුරුවරයෙක්ටත් ලොකු වගකීමක් පැවරෙනවා. ඉතින් ගුරුවරු හැමවෙලාවෙම සමාජයට වඩා ඉස්සරහින් ඉන්න ඕනේ, තාක්ෂණය වගේම ලෝකේ ගැනත් දැනගෙන ඉන්න ඕනේ. කොරෝනා කලේ තාක්ෂණය නොදන්නකම නිසා ගොඩක් ගුරුවරුන්ට උගන්වන්න අමාරු වුණා. හැබැයි ඒකට ගුරුවරයටම ඇඟිල්ල දික්කරන්නත් බැහැ. අපේ සිස්ටම් එකෙන්ම ගුරුවරයා කියන කෙනාව පුංචි කොටුවට දාලා රාමු කරලා තියෙනවා, එක විෂයක් වෙන් කරගෙන ඒක උගන්වගෙන ඉන්න එකයි ගුරුකම කියලා. ඉස්සරහදිවත් අන්න ඒක වෙනස් කරන්නයි අපි බලන්න ඕනේ.

ගුරුවරුන්ගේ දඩුවම්වලට ලක්වෙන දරුවන් ගැනත් අපිට නිතර අහන්න ලැබෙනවනේ. ඒ ගැන ඇය කිව්වේ මෙහෙම දෙයක්.

දරුවෙක්ට විතරක් නෙමේ කෙනෙක්ට ගහන්න තවත් කෙනෙක්ට අයිතියක් නැහැ. දුර්වලම ගුරුවරයගේ අවිය තමයි දඬුවම. ගුරුවරුන්ට, දරුවන්ට ගහන්න එපා කියලා චක්‍රලේඛයක් පවා තියෙනවා. අපි ඉන්නේ දරුවන්ට හොඳ නරක කියලා දෙන්න. සමාජෙට ගිහින් වැරදි කළාම දඬුවම් ලැබෙන්න පුළුවන් කියන එක උගන්වන්න. වැරදි හදාගන්න උදව් කරන්නේ නැතුව ඒවට ළමයින්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට අයිතියක් නැහැ. ඒ වැරැද්ද වුණත් නිවැරැදි කරන්න සුන්දර විදියක් හොයාගන්න ගුරුවරයා දක්ෂ වෙන්න ඕනේ.

ඒ වගේම තමා සමහර ගුරුවරු ඉන්නවා දරුවන්ට නිතරම අරක කරන්න එපා මේක කරන්න එපා කියන. එක වසරට යන දරුවෝ ඉස්සරහා පේලියේ ඉඳගන්න පොරකනවා. ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න අත් උස්සනවා. හැබැයි බලන්න උසස් පෙළ පංතිවලදි දරුවෝ ඉඳගන්න ආසම පිටිපස්සේ. පුංචි කාලේ ඉඳලම දරුවන්ට එපා කියන එකෙයි දඬුවම් කරන එකෙයි ප්‍රතිඵලය තමයි ඒක.”

ඒ කතාවෙන් පස්සේ මම ඇගෙන් ඇහුවේ සාහිත්‍ය ගැන.

මට ඉන්නේ අයියයි, නංගියි. ඒ දෙන්නටම ලස්සනට සිංදු කියන්න පුළුවන්. මට හොඳටම සිංදු කියන්න බැහැ. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මම කළේ සිංදු, කවි, කතා විචාරය කරපු එක. එකපාරක් මට සිහිනයකි රෑ වැඩසටහනට ආරාධනාවක් ලැබුණා. මාව බොහෝදෙනා අඳුනගත්තේ ඒකෙන්. ග්‍රන්ථ එළිදැක්වීම්, රූපවාහිනී ගීත විචාර වගේ වැඩසටහන්වලට සහභාගී වෙනවා. මේ දවස්වල ගුවන්විදුලි රසාස්වාදන වැඩසටහනකටත් සම්බන්ධ වෙලා කටයුතු කරනවා.”

ඒ වගේම ඇය කිවිඳියක්. ඇගේම කවිපොතක් එළිදක්වන්නත් වැඩ කටයුතු සූදානම් බව ඇය කිව්වා.

අපේ ළමයි පොත් කියවන්නේ නෑ කියලා ගොඩක් අම්මලා තාත්තලා කියනවා. මම නම් ඒ වරද පටවන්නෙත් වැඩිහිටියන්ට. එයාලා රෑට ටීවී එකේ යන ටෙලිනාට්‍ය බලන ගමන් දරුවන්ට පොත් කියවන්න අවවාද දීලා හරි යන්නේ නැහැ. අවවාදයට වඩා ආදර්ශය කවදත් වටිනවා.

පවුලක් ගොඩ නැගෙන්නේ අම්මා මත. ඉතින් අම්මාට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ගෑනියෙක් වුණාම සිංදුවක් අහන්න ඕනේ, පොතපතක් කලාත්මක චිත්‍රපටයක් බලන්න ඕනේ. ඉස්සර අපේ අම්මා නිදාගන්නකොට මට කතන්දර කියලා දෙනවා. පොඩි කාලේ දවසක් අම්මා මා එක්කලා අමනාපව වී දබර…’ සිංදුව කිව්වා. ඒ තාත්තා දුවව දාල ගිය දුකට එදා මම හොඳටම ඇඬුවා. තව කෙනෙක් ගැන සංවේදී දරුවෝ හදන්නේ අන්න එහෙමයි. අනික මම හිතන හැමදේම හරි, මම හැමදේම දන්නවා කියලනේ ගොඩක් අය හිතන්නේ. හැබැයි පොත් කියවනවා නම් ඒක වැරදියි කියලා තේරෙනවා. ඇත්තටම මේ ලෝකේ අපි දන්න දේවල් බොහොම පොඩ්ඩයි.”

ඇත්ත, අපි දන්න දේ බොහොම ඇබිත්තයි කියලා බුදුන් පවා දේශනා කරලා තියෙනවානේ. ඔය කතාවෙන් පස්සේ ඇගේ පවුල ගැනත් අපි ටිකක් කතා කළා.

ඇයට පුංචි දුවනියක් වගේම පුතෙකුත් ඉන්නවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අදිකාරිලත් නිලධාරී කනිෂ්ක ජයලත් ඇගේ සැමියා.

ගොඩක් වෙලාවට මම විරහව ගැන ලියනවා. ඒවා දැක්කම ඔයාගේ හස්බන්ඩ් ඔයාට සලකන්නේ නැද්ද කියලා සමහරු අහනවා. ඒවා මගේ හිතට දැනෙන කවි සිතුවිලි මිසක මගේ පෞද්ගලික අත්දැකීම් නෙමෙයි. මට මගේ සැමියගෙන් ලොකු සහායක් ලැබෙනවා. නැත්තම් මේ හැමදේම හරියට කළමනාකරණය කරගන්න අමාරුයි. මගේ තාත්තාත් මට ලොකු සහායක් දෙනවා.”

පාසලේ කාර්යයමණ්ඩලයේ සහාය ගැනත් ඇය නිතරම වගේ මතක් කළා. අවසාන වශයෙන් ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙන් ඈ කිව්වේ මෙහෙම දෙයක්.

“මම ගවුමක් ඇඳලා ෆොටෝ එකක් දැම්මම විදුහල්පති කෙනෙක් ඇයි ගවුම් ඇඳලා ෆොටෝ දාන්නේ කියලා සමහරු අහනවා. විදුහල්පති කෙනෙක් වුණත් මටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මට වගේම හැමෝමටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඉතින් තව කෙනෙක්ගෙ පෞද්ගලික දේ අඩුපාඩු හොය හොයා ඒ අයට මානසික පීඩනයක් දෙන්න එපා. ගොඩක් වෙලාවට ඔය විදියට අනුන්ගේ මානසික නිදහස සීමා කරන්න හදන්නේ තමන්ට මානසික සතුටක් නැති උදවිය’

ඒ නිසා නිතරම තමන්ගේ සතුට ගැන හිතන්න. ඒ මොහොත සතුටින් ගෙවන්න. වෙන අය මත තමන්ගේ සතුට හොයන්න යන්න එපා. තමන්ගේ හොඳම යාළුවා තමන් කරගන්න. තමන්ට ඇබ්බැහි වෙන්න. එතකොට අනිත් අය ගැන ඊර්ෂ්‍යා හිතෙන්නෙත් නැහැ. එකිනෙකා අතර තරඟයක් ඇතිවෙන්නෙත් නෑ.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප : ප්‍රදීප් දඹරගේ

සාරි නිර්මාණය : ලියාරා සාරි

හැඩගැන්වීම : සැලෝන් ශාම්, මාතලේ