නවතම ප්‍රවෘත්ති

ඉංගිරිසියෙන් රට්ටු හිනස්සන ටානියා

හයියෙන් හිනාවෙන, කතා කරන ගෑනුන්ව එක්දාස් අටසිය ගණන්වල එංගලන්තේ පාලනේ කළ වික්ටෝරියා රැජිනට අරහංලු. ගෑනුන්ට හිනාවෙන්න උගන්වන පංති පවා ඒ කාලේ තිබිලා තියෙනවා. මේ පසුගාමී අදහස් කාලීනව යටත්විජිතවලටත් පැතිරුණා. ඉතින් ගෑනු හිනාවෙන්න හොඳ නෑ, පිරිසක් ඉස්සරහා අදහස් ප්‍රකාශ කරන්න හොඳ නෑ වගේ පසුගාමී අදහස් අපේ රටට ආවේ එංගලන්තෙන්.

හිනාවෙන්න තහනම් එකේ විහිලු කරලා අනිත් අයව හිනාගස්සන එක ගැන කවර කතාද? ඉතින් ඒ කාලේ රාජ්‍ය නාට්‍ය කණ්ඩායමක විකට නිළියක්වත් ඉඳලා නැහැ.

හැබැයි පස්සේ එංගලන්තේ ගෑනු ඔය සීමා කඩාගෙන එළියට ආවා. විකට නිළියෝ විතරක් නෙමේ සජීවි හාස්‍ය කතා ඉදිරිපත් කරන රොයිසින් කොනාටි, එලී ටේලර්, සාරා මිලිකන් වගේ ලෝක ප්‍රසිද්ධ ස්ටෑන්ඩ් අප් කමීඩියන්ලා (ප්‍රේක්ෂක පිරිසකට සජීවීව ප්‍රහසන රංගනයක්, කතාවක් ඉදිරිපත් කරන්නා) පවා බිහිවුණේ එංගලන්තෙන්.

එංගලන්තෙ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ  නෑ. හයියෙන් හිනාවෙන, විහිලු තහළු කරන ගෑනු ගැන අමුතුතාලේ ප්‍රතිරූප මවාගන්න මිනිස්සු තාමත් අපේ සමාජයේ ඉන්නවා.

ඒ නිසාද කොහෙදෝ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ අපේ ගෑනු අතගහන්න පැකිළෙන විෂයයක්. ඉතින් සාපේක්ෂව අඩු කාන්තාවන් ප්‍රමාණයක් ඉදිරිපත් වෙන ක්ෂේත්‍රයකට කෙනෙක් එන එකම අගයන්න වටින කාරණාවක් කියලයි අපිට හිතුණේ.

අපේ කතා නායිකාව ටානියා ලෙව්වන්දුවගේත් ඉංග්‍රීසි භාෂාවෙන් ස්ටෑන්ඩ් අප් කොමඩි කරන හුරුබුහුටි තරුණියක්. පහුගිය දවසක ටානියාගේ කොමඩි විඩීයෝ ක්ලිප් එකක් සමාජ මාධ්‍යවල හුවමාරු වුණා. ඒ නිසා මේ වෙනකොට ටානියාව නොදන්න අය අඩුයි. පිරිසක් හිනායන කතා කියන ටානියව අගයද්දි තවත් කොටසක් ශෝ එකට ඉංග්‍රීසි කතා කරනවාවගේ ප්‍රතිචාරත් දක්වලා තිබුණා. අපේ වගේ සමාජෙකින් මෙහෙම ප්‍රතිචාර ලැබෙන්න පුළුවන් කියලා දැන දැනත් බය නැතිව මේ වගේ වැඩකට අතගහපු ටානියට අද ධරණීකවරය සරසන්න අපි කතා කළා.

මගේ ගම අවිස්සාවේල්ල. එක වසරේ ඉඳලා පහ වසර වෙනකල් ඉගෙනගත්තේ අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයෙන්. ඊටපස්සේ තමයි ශිෂ්‍යත්වය පාස්වෙලා කොළඹ විශාඛා විද්‍යාලයට ආවේ. ඉංග්‍රීසි භාෂාව, කලාව, ලේඛනය වගේ විෂයන්වලට යොමුවෙන්න ඉස්සෙල්ලාම මට ​අවස්ථාව ලැබුණේ විශාඛා එකෙන්. බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ ගැන. උසස් පෙළට ජීව විද්‍යා විෂයන් කරලා කැලණිය විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එකට ඇතුළත් වුණා. ඒකෙදී ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් කියන ඩිපාර්ට්මන්ට් (DIM) එකේ කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය පැත්තෙන් විශේෂ විද්‍යා උපාධියක් ලබාගෙන මේ වෙද්දී PIM එකෙන් පශ්චාත් උපාධියත් සම්පූර්ණ කරලා තියෙනවා.”

මේ වෙනකොට ටානියා ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක මානව සම්පත් අංශයේ කාන්තාවන් බලගැන්වීම සම්බන්ධ රැකියාවක නිරත වෙනවලු. ආගිය තොරතුරු ටිකක් කතා කළාට පස්සේ ස්ටෑන්ඩ් අප් කමීඩියන් කෙනෙක් වෙන අදහස ආවේ කොහොමද කියලා මම ටානියාගෙන් ඇහුවා.

නිතරෝම කියවන එක නම් පුංචි කාලේ ඉඳලම තිබුණා. හිතලා කළත් නොකළත් මම කතා කරන විදියට සහ කතා කරන දේවල්වලට අනිත් අයට හිනායනවා. කතන්දර කීමේ හැකියාව නම් ඒ කාලේ ඉඳන්ම තිබ්බා මම හිතන්නේ.

ස්ටෑන්ඩ් අප් කොමඩි ගමන පටන්ගන්නේ මම Toastmasters වලට සම්බන්ධවීමත් එක්ක. ‘Toastmasters’ කියන්නේ ජාත්‍යන්තරව පිළිගත්ත, පිරිසක් ඉස්සරහා ඉංග්‍රීසියෙන් කතා කරන්න අවස්ථාවක්, පුහුණුවක් ලබාදෙන සංවිධානයක්. ඒකේ හාස්‍යජනක කථනය (humorous speech) කියලා කොටසක් තියෙනවා. මම ගොඩක්ම කැමති සහ දක්ෂ වුණේ ඒ අංගයට. ඒ ඔස්සේ Toastmasters තුළින් පවත්වපු හාස්‍යජනක කථන තරඟවලට මම ඉදිරිපත් වෙන්න පටන්ගත්තා. එක එක මට්ටම්වලින් ඒ තරඟ ජයග්‍රහණය කරලා ලංකාව නියෝජනය කරමින් චෙන්නායි එහෙමත් යන්න පුළුවන් වුණා. ඒ ගොඩක් තැන්වලදී මගේ යාළුවෝ කිව්ව දෙයක් තමයි ඔයා ස්ටෑන්ඩ් අප් කොමඩිත් කරලා බලන්න, ඒ හැකියාව ඔයාට තියෙනවාකියන එක.”

අනිත් අයගෙන් ඒ වගේ හොඳ ප්‍රතිචාර ලැබුණත් ටානියා ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැතිලු.

ඔය අතරේ කොවිඩ් ආවා. මිනිස්සු ජීවත්වෙන්න ලොකු අරගලයක් කළා මතකනේ. ඉතින් ඒ දවස්වල මට එදිනෙදා අත්විඳින්න වුණු සිදුවීම් මම පුංචි පුංචි දෙබස් විදියට ලියලා ෆේස්බුක් එකේ පලකළා පොඩි විහිලු කෑලි විදියට Tani’s Originals කියන හෑෂ් ටැග් එකෙක්, මොකද මට වෙච්ච ඇත්ත සිදුවීම් නිසා. ඒවා බලන අය බොහොම කැමැත්තෙන් භාරගත්තා. එයාලගේ දේවල් බෙදාගත්තා. සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔය අතරේ අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍ය සංගමෙන් ටැලන්ට් ෂෝ එකක් ඕගනයිස් කළා. ඒකෙ අංගයක් තිබ්බා ස්ටෑන්ඩ් අප් කමීඩියන් කියලා. අත්හදා බලන්න තිබ්බ ආසාවට මම ඒකට තරඟ කරලා බැලුවා. ඒකෙන් ජයග්‍රහණය කිරීමත් එක්ක තමයි ස්ටෑන්ඩ් අප් ගමන හරියටම පටන්ගන්නේ.”

කමීඩියන් කෙනෙක් විදියට ඇයව බොහෝදෙනා අඳුනගෙන තියෙන්නේ ඔය යූටියුබ් චැනල් එක හරහා.

මට කොමඩි කියන්නේ හිනාවකට එහා ගිය දෙයක්. කොමඩි කියන්නේ කෙනෙක්ට දෙයක් දෙන්න පුළුවන් කලාවක්. මිනිස්සු කතා කරන්න කැමති නැති සංකීර්ණ ප්‍රශ්න සරලව, විහිලුවෙන් බර අඩු කරලා කතා කරන්න පුළුවන් විදියක් වගේම හඬක් නැති මිනිස්සුන්ට හඬක් වෙන්න පුළුවන් සරලම තැනක්. අනික කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය ගත්තොත් පැහැදිලි සම්බන්ධයක් මේ  හිනාව කියන දේ ඇතුළේ තියෙනවා. හිනාවට පුළුවන් ඔයාගේ මූඩ් එක ක්ෂණිකව වෙනස් කරන්න; සතුටු හෝර්මෝන තුළින් ඔයා ඉන්න මානසික මට්ටමෙන් උඩට උස්සන්න. මට උවමනා වුණේ මේ ආර්ට් ෆෝම් එක හරහා මිනිස්සුන්ට දෙයක් දෙන්න, අදහස් නිරූපණ මාධ්‍යක් විදියට පාවිච්චි කරන්න සහ පොඩ්ඩක් හරි වෙනස් විදියකට එක්කෙනෙක් හරි හිතන්න පොළඹවන්න. නැතුව ට්‍රෙන්ඩ් වෙන්න ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන ස්ටෑන්ඩ් අප් කියන අංශය තෝරගත්තේ නෑ.”

පිරිසක් ඉස්සරහට ගිහිල්ලා හිනායන කතාවක් කියලා හිනස්සන එක හැමෝටම කරන්න පුළුවන් වැඩක්යෑ. මුලින්ම පිරිසක් ඉස්සරහා කරපු ඉදිරිපත් කිරීම මතකද කියන එකයි ටානියාගෙන් අපි ඊගාවට ඇහැව්වේ.

මෙහෙමයි, Toastmasters වලදී කොහොමටත් විශාල පිරිසක් ඉරිදියේ තරඟ කරලා, සමුළුවල ඉදිරිපත් කිරීම් කරලා ඒ අත්දැකීම් ලබාගෙන තිබුණා. එත් මගේ පළවැනි standup performance එක වෙන්නේ කොවිඩ් කාලෙදිමයි, ඒකත් ඔන්ලයින්. පිරිසක් ඉස්සරහා මම කරපු පළවැනි පබ්ලික් ෂෝ එක කැකිරි’. එදා මට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා සහ පෞද්ගලිකව හුඟක් තෘප්තිමත් අත්දැකීමක්.”

 

*හැබැයි ටානියාගේ ඉදිරිපත් කිරීම්වලට හිනායන්නේ නැහැයි කියලත් සමහරු කියලා තිබුණා නේද?

මෙහෙමයි​ කොමඩිවලත් එක එක ජාතියේ ශානර තියෙනවා. ඉතින් හැම කෙනෙක්ටම හැම විහිලුවකටම හිනායන්නේ නැතිවෙන්න පුළුවන්. එහෙම හැම එකටම හිනාවෙන්න ඕනෙ කියලා එකකුත් නෑ. ඒක ඒ මනුස්සයාගේ අයිතිය සහ කැමැත්ත.

වෙන ඕනෑම ආර්ට් ෆෝම් එකක කලාකාරයෙක් වගේම කමීඩියන් කෙනෙක් විදියට අපිත් යම් ඉදිරිපත් කිරීමක් කරන්නේ සෑහෙන්න පුහුණුවෙලා. කෙනෙක්ට පේන්නේ විනාඩි කිහිපයක් වුණාට ඒ විනාඩි කිහිපය පිටිපස්සේ සෑහෙන මහන්සියක්, කැපකිරීමක්, පුහුණුවක් තියෙනවා. ඒ මහන්සියේ හැටියට ඉදිරිපත් කළ දේ මම හිතුව විදියට හරි ඊට වඩා හොඳට ඉදිරිපත් කළා කියලා හරි දැනෙන එක තමයි මගේ තෘප්තිය. මම මගේ උපරිමය මනින්නේ ඒ තෘප්තියෙන් මිසක හිනාවෙන අයගේ ඔළු ගාණ ගැනලා නෙමෙයි.”

අපි මුලදි කතා කළා වගේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ ගෑනු සුලබ ක්ෂේත්‍රයක් නෙමෙයි. ඒ ගැන ටානියා කිව්වේ මෙහෙම කතාවක්.

ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ගත්තත් සාපේක්ෂව ෆීමේල් ස්ටෑන්ඩ් අප් කමීඩියන්ලා අඩුයි. ලංකාවේ තවත් අඩුයි. පිරිමින්ට වඩාත් සුදුසුයි කියලා සමාජයක් විසින් අනුමත කරපු රැකියා අංශ තියෙනවානේ. ස්ටෑන්ඩ් අප කොමඩි කියන්නෙත් එහෙම අංශයක්. මොකද පීතෘ මූලික සමාජ පසුබිමක හැදී වැඩෙනකොට අපේ ගෑනු ළමයිගේ සහ පිරිමි ළමයිගේ ඔළුවලට බස්සන එක එක රාමු තියෙනවානේ. ගෑනු සුමටයි, කෑගහන්න බෑ, විහිලු කරන්න බෑ, විනීතව හැසිරෙන්න ඕනේ වගේ මේ දාන රාමුවට ස්ටෑන්ඩ් අප් කොමිඩියන් කියන චරිතය ගැළපෙන්නේ නෑ. ඉතිං ඒ රාමුව කඩාගෙන විශේෂයෙන් ගෑනු ළමයෙක් හැසිරෙනකොට ඒකට සමාජයෙන් එන ප්‍රතිරෝධය වැඩියි. පිරිමි විතරක් නෙවෙයි තව කාන්තාවකටම හිතෙන්න පුළුවන් මේක නුසුදුසුයි, හරි අමාරුයි කියලා. මුලින්ම කියන්න ඕන මම ගැහැනු කෙනෙක්  වීම නිසා අනේ එයා පව් කියලා කවුරුත් එහෙම දුක හිතිලා හිනාවෙන්න උවමනා නෑ. ස්ටෑන්ඩ් අප් කොමඩි විතරක් නෙවෙයි වෙන ඕනෑම වෘත්තීයක එහෙම ලිංගිකත්වය මත පදනම් වුණ වෙනස්කොට සැලකීම් තියෙන්න අවශ්‍ය නෑ. මෙතෙක් මට හොඳයි කිව්ව කිසි කෙනෙක් මම දැනුවත්ව මම ගැහැනු කෙනෙක්නිසා මම හොඳයි කියලත් නෑ. මොකක්හරි ඒ ගොල්ලෝ දකින ගුණාංගයකට තමයි මිනිස්සු හොඳයි කියන්නේ.

ඒ වගේමයි, මෙයා ගෑනු කෙනෙක් නිසා මට මෙයා කියන ඒවට හිනායන්නේ නෑ, මෙයා ගෑනු කෙනෙක් වෙලත් තරම අඳුරගෙන නෙවෙයි කතා කරන්නේ වගේ දේවල් කෙනෙක්ට හිතනවා නම්, ඒ නිසා තරහා යනවා නම්, ඒක එයාගේ ප්‍රශ්නයක්.”

ඔය ටානියා කිව්ව සමාජ විකසනය දැනටමත් සිද්ධවෙන බව පේන්න තියෙනවා කියලත් ඇය කිව්වා.

ඊළඟට අපි කතා කළේ ඉංග්‍රීසි ගැන. කෙනෙක් ඉංග්‍රීසි වචනයක් කතා කළහම සුද්දෝ මතක් කර කර බනින පිරිසක් තාමත් ​අපේ රටේ ඉන්න නිසාදෝ ටානියා ඉංග්‍රීසි කතා කරන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා.

මෙහෙමයි අර මම කිව්වා වගේ එක එක විදිහට හිතන මිනිස්සු හැමතැනකම ඉන්නවා. ඒ බහුතරය නෙමෙයි. ඒ නිසා සුළු පිරිසට අපි අනවශ්‍ය අවධානයක් දෙන්න ඕනා නැහැ. අනික මට කතා කරපු අයගෙන් බහුතරයක් ඒ ගැන දෙයක් ඉගෙනගන්න ආසාවෙන් කතා කළා මිසක පහර ගහන්න කතා කළේ නෑ.

ඉංග්‍රීසි කියන්නේ මට නම් සන්නිවේදනය කරන්න පාවිච්චි කරන මෙවලමක් විතරයි. ගෝලීය භාෂාවක් නිසා ඉංග්‍රීසි ඉගෙනගත්තොත් ලෝකයට විවර වෙන්න ලේසියි. ඒ හේතුවට ඇර ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කිසිම කෙනෙක් අනුන්ට පේන්න ඉංග්‍රීසි  කතා කරනවා ඇති කියලා මම හිතන්නේ නැහැ. විවිධ භාෂාවන් දන්න තරමට හොඳයි. උදාහරණයක් විදිහට මට දෙමළ ලියන්න කියවන්න පුළුවන්. ඒත් භාවිතයක් නැති නිසා හසුරවන්න අමාරුයි. ඒ ගැන මම හරියට දුක් වෙනවා. භාෂාවන් දන්න තරමට කෙනෙක්ට වැඩක් මිසක අවැඩක් වෙන්නේ නෑ.”

ටානියා කියන්නේ අලුත් අදහස් තියෙන තරුණ යුවතියක්. ඉතින් ඇයත් එක්ක පැය ගාණක් වුණත් කතා කරන්න පුළුවන් වුණත් ලිපිය අවසන් කරන්න ඕන නිසා ඇයට අත හිත දෙන අය ගැනත් අපි අහලා බැලුවා.

මගේ පවුල, විශේෂයෙන්ම මගේ යාළුවෝ සහ රැකියා ස්ථානයේ හැමදෙනාම අවශ්‍ය හැමවෙලාවෙම මට උදව් කරනවා. මාත් එක්ක ඉන්නවා. ඒක මට ලොකු හයියක්. මාව දැකලාවත් දන්නෙවත් නැතුව මගේ කොන්ටෙන්ට් බලලා හොඳ අදහස් එකතු කරන, සුබපැතුම් දිරිගැන්වීම් එවන මාත් එක්ක ඉන්න මගේ රසිකයන්වත් මතක් කරන්න ඕනි. ඒ ලබාදෙන ශක්තියට ස්තුතියි. අපේ කලම්බෝ කමඩි සෙන්ට්‍රල්එකේ හසා ඇතුළු හැමදෙනාමත්, ‘හාහා ලංකාඑකේ හැමදෙනාමත් ආදරෙන් මතක් කරන්න ඕන. ස්ටෑන්ඩ් අප් කොමඩි ලංකාවට අලුත් දෙයක්. මේ අලුත් දේත් එක්ක ඉස්සරහට හොඳ ගමනක් යන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව. හැබැයි මේ තුළින් කිසිම ආගමකට පහරගැසීමක් හෝ කෙනෙක්ගේ හිත රිද්දන්න කිසිම ස්ටෑන්ඩ් අප් කමීඩියන් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නෑ.”

ටානියා කිව්වේ මූණ පුරා පිරිච්ච හිනාවෙන් හිනාවෙන ගමන්. අවසාන වශයෙන් ‘ධරණී’ කියවන ඔබට ඇය දුන්නේ මෙහෙම පණිවිඩයක්.

නිතරම සතුට හොයාගන්න බලන්න. මට අනුව නම් සතුට කියන්නෙම මානසික සැනසීමට. මම බුද්ධ දර්ශනයෙන් මානසික සැනසීම හොයාගන්න උත්සාහ කරන කෙනෙක්.

මම විශ්වාස කරන විදිහට අපි හැමෝම මේ ලෝකෙට ආපු හේතුවක් තියෙනවා. ඒ හේතුව මට නම් අනිත් අයට උදව් කරන එක. ඒ නිසා මම නිතරම අනිත් අයට උදව් කරනවා.

ඒ වගේම තමන්ටත් ප්‍රමුඛතාවය දෙන්න. ඔයාගේ ජීවිතේ මේතාක් දුර අරගෙන ආවේ වෙන කවුරුත් නෙමේ ඒ ඔයා. ඒ නිසා තීරණ ගන්නකොට තමන්ගේ වර්තමානෙට, අනාගතේට බලපාන හොඳම තීරණේ ගන්න.”

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප ජගත් නානායක්කාර