News

අඩුපාඩු මග හැර කො​රෝනා මර්දනය සාර්ථක කරගත යුතුයි – ජනපති

අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (30වැනිදා) රැස්වූ අවස්ථාවේදීය.

නාවික හමුදා සාමාජිකයන් 997 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනකු පමණි.

ඔවුන්ගෙන් 80%ක් කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබා ගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී තවදුරටත් පැවැසීය.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්ය සාධන බලකායේ සාමාජිකයන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.