News

අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම්

පුත්තලමේදී අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 ක් සමග අද (23) අලුයම පුත්තලම නගරයේ දී පුත්තලම පොලිස් අධිකාරී කර්යාලයේ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා තවමත් පරිවාස කාලයේ ගත කරන ස්ථීර සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති අයෙකු වෙයි.

මෙම නිලධාරියා මීට පෙරද වැඩ තහනමකට ලක්ව සිටි අයකු වන අතර මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා සුරාබදු සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු යටතේ විශේෂ කණ්ඩායම් දෙකක් ද පත්කර තිබේ.

තවත් සුරාබදු නිලධාරීන් මෙම සිද්ධියට සම්බන්ධව සිටින්නේ නම් තරාතිරම කුමක් වුවත් උපරීම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.