අදත් සුළග සමග තද වැසි
බෙංගාල බොක්ක ආශ්රිත අම්ෆන් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වීම නිසා අද (18 වැනිදා) දිනයේදී බස්නාහිර ඇතුළු පළාත් වල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් (අම්ෆන්) දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 610ත් 630ත් අතර දුරකින් ස්ථානගතව පවතින බවත්, මෙම පද්ධතිය චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.
‘අම්ෆන්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්ව උතුරට බරව ඊසාන දෙසට හැරී බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරමින් තිබේ.
මෙම සුළි කුණාටුවේ බලපෑම මත අද (18 වැනිදා) උදෑසන සිට දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාතට මිලිමීටර් 150ක පමණ තද වැසි මෙන්ම තද සුළං ඇතිවිය හැකිය.
තද වැසි තත්ත්වය නිසා නාය යෑම් සිදුවිය හැකි බැවින් කඳුකරයේ ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
