අම්බානිගේ අලි රෝහලට අහසින් ආ ‘මායා’
“ඇය හරියට අපේ දුව වගේ. අපි බලාපොරොත්තු වෙනවා ඈ ඉක්මනින්ම සුවය ලබයි කියලා. සුව වෙලා ඈ ආපහු එනකං අපි බලාගෙන ඉන්නවා. දැනට තත්ත්වය හොඳ බව පේනවා. ඇගේ ගුවන් ගමනටත් ඔරොත්තු දෙයි කියලා අපි හිතනවා. ඈ එතනට ගියාට පස්සෙ හැම පහසුකමක්ම ලැබෙන බව මට විශ්වාසයි.”
කේරලයේ ප්‍රධාන වන සංරක්ෂක (වනජීවී) සහ ප්‍රධාන වනජීවී පාලක වෛද්‍ය පී. පුගසෙන්ඩි එලෙස හැඟුම්බරව පැවසුවේ මායා ගැනයි. මායා යනු කටින් කිරි සුවඳ නොගිය පුංචි දුවෙකි. ඇත්තම කතාව කිව්වොත් ඈ පුංචි ‘අලි’ දියණියකි. මේ වෙද්දී ඉන්දියාවේ පමණක් නොව, අනෙකුත් රටවලද අවධානය මායා වෙත යොමුව තිබේ. සංකූලතා කිහිපයක් සහිතව සිටියදී ගුවනින් ගිය පළමු ඉන්දීය අලි පැටවා ඇයයි. මායා කේරලයේ සිට අහසින් ගියේ ආනන්ත් අම්බානිගේ වන්තාරා අලි රෝහල වෙතයි. මීට මාස දෙක තුනකට ඉහතදී ද වන්තාරා වෙත තවත් අලියෙක් ගුවනින් ආවේය. එහෙත් මායාගේ කතාව ඊට තරමක් වෙනස්ය.
මායාව මුල්වරට හමුවූයේ පසුගිය වසරේ අප්‍රේල් 19 වනදායි. ඒ, මලයත්තූර් කොට්ඨාසයේ කප්රික්කාඩ් හිදීය. අලුත උපන් අලි පැංචියක වූ ඈ ගං ඉවුරක තනිවී සිටියාය. ඇගේ රංචුව ඇය හැරදා ගඟ තරණය කර ඇති බව දක්නට තිබිණ. විජලනය වී, අතිශය දුර්වලව සිටි පැංචියට මවගෙන් මුල් කිරි හෝ ලැබුණු බවක් දකින්නට තිබුණේ නැත. කිරි උරා බීමේ හැකියාවක් ද ඇයට නොතිබිණ. එතැනින් රැගෙන ආ මේ අලි පැටික්කිය, වසරකට වැඩි කලක් පුරා රැකබලා ගත්තේ වනජීවී සහකාර පශු වෛද්‍ය බිනෝයි සී. බාබු ඇතුළු කණ්ඩායමයි. ඔවුහු ඇයට කිරි පෙව්වෝය; කැව්වෝය. අතරමං වූ අලි පැංචිය ‘මායා’ ලෙස නම් ලැබුවේ එහිදීයි.
වනජීවී නිලධාරීන්ට හමුවෙද්දී කෙතරම් දුර්වලව සිටියද ටිකෙන් ටික අළු ගසා නැගී සිටි මායා දඟකාරියක වූවාය. අනෙක් අලි පැටවුන් සේම ඈ ද සෙල්ලමට බරය. එහෙත් පසුගිය ජූලි මාසයේ දී සෙල්ලම ලෙල්ලම විය. සෙල්ලම් කරද්දී ඈ ලිස්සා වැටුණාය. ඉන් හානි වූයේ උරහිසටයි. අවශ්‍ය ප්‍රතිකාර දුන්නද මායා එන්න එන්නම දුර්වල වූවාය. ඇගේ අස්ථි බිඳෙන සුළු විය. ඔක්තෝබර් අග වෙද්දී තත්ත්වය වඩාත් දරුණු අතට හැරිණ. ඇයට නැගී සිටීමට පවා නොහැකි විය. ඉදිරි පාද දෙකෙහිම අස්ථි බිඳීම්ය. පපුවේ ආසාදනයකි. තවත් අතුරු ආබාධ හේතුවෙන් මායාගේ තත්ත්වය අයහපත් විය.
රෂ්නිකා ලියනගේ
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
