News

අම්ෆන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතවෙයි

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) මේ වනවිට ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වී,19 වන දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 1250 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 18.4 ත් නැගෙනහිර දේශාංශ 87.1 ත් ආසන්නව වයඹ සහ බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පැවැති බවත්, මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද (20) දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ, දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැක.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.