News

අවු.12 ට වැඩි දරුවන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්යයි

කොවිඩ්-19 වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 සහ ඊට වැඩි දරුවන් ද මුඛ ආවරණ පැළඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.

අන් අය සමඟ මීටරයක පරතරයක තබා ගැනීමට නොහැකි අවස්ථාවලදීත්, වයිරසය වේගයෙන් පැතිරෙමින් තිබෙන ප්‍රදේශවල සිටින විටදීත් අවුරුදු 12 හෝ ඊට වැඩි හෝ දරුවන් මුඛ ආවරණ පැලඳිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද පෙන්වාදෙයි.

එම උපදෙස්වලට අදාළ ලියකියවිලි අගෝස්තු 21 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ ද පළ කර ඇත.

වයස අවුරුදු හයත් 11ත් අතර දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතු ද නැද්ද කරුණු කිහිපයක් මත පදනම් වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.

දරුවා වෙසෙන ප්‍රදේශයේ වයිරසය පැතිර යෑමේ වේගය, දරුවාට මුඛ ආවරණ පැලඳීමට තිබෙන හැකියාව, මුඛ ආවරණයක් ලබාගැනීමට ඇති හැකියාව සහ වැඩිහිටියකු ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නේ ද යන කරුණු මත වයස අවුරුදු හයත් 11ත් අතර දරුවන් මුඛ ආවරණ පැළඳිය යුතු ද නැද්ද තීරණය වන බව එම සංවිධාන දෙක පෙන්වාදෙයි.

ආරක්ෂාව සහ දරුවාගේ පැත්තෙන් බැලීමේදී වයස අවුරුදු පහ හෝ ඊට අඩු දරුවන් මුඛ ආවරණය පැලඳිය යුතු නැතැයි ද එම සංවිධානය සඳහන් කරයි.

වයසින් අඩු දරුවන්ට වඩා වයසින් වැඩි දරුවන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇතැයි මෙතෙක් කරන ලද අධ්‍යයනවලින් පෙනීගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වාදෙයි.