News

ආදිවාසීන් මී පැණි පූජාව පවත්වයි

පෙර රජ දවසේ සිට ආදිවාසී ජනතාව විසින් ශ්‍රී දළදා සමිඳුන් විශයෙහි සිදුකරන මී පැණි පූජාව පුරාණ චාරිත්‍රානුකූලව අද(30) දින ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ කුටියේ දී සිදු වූහ.

ශ්‍රී දළඳා මාලිගාවේ පළමුවන රන්දෝලි පෙරහැර දිනයේ ඈත අතීතයේ සිටම මෙම මීපැණි පූජාව සිදුකරනු ලබන අතර රටට සෞභාග්‍යය උදාවීම මෙමගින් අපේක්ෂා කරති.

මීපැණි පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ සඳහන් කළේ ,මෙවර දළදා සමිඳුන් හට පූජා කිරීම සඳහා මී පැණි සොයා ගැනීම අසීරු කටයුත්තක් නොවුවද අනාගතයේදී මෙවන් නොඉඳුල් මී පැණි සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වනු නොඅනුමාන බව ය.

මේ වන විට ඉවක් බවක් නොමැතිව සිදු කරන වනාන්තර විනාශය, අසීමාන්තික කෘමි නාශක භාවිතය හා වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසරය විනාශය මත මී මැස්සන් වඳ වී යාමේ තර්ජනයක් උද්ගතව පවතින බවත් මී මැස්සන් වඳ වීම යනු මිනිස් සංහතියේද වඳවීම බවත් ආදී වාසි නායකයා කීය .

මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වැනි භයානක රෝග සඳහා මූලික වන්නේ ද පරිසර විනාශය බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මීපැණි පූජාව සඳහා ආදිවාසී නායකයා සමගින් ආදිවාසීන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද සහභාගි වූ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ.

සම්ප්‍රදානුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ආදිවාසීන් හට තෑගි බෝග ප්‍රදානය කළ අතර ආදිවාසීන් විසින් ද නිලමේතුමන් හට මී පැණි ලබු කැටයක් ත්‍යාගයක් වශයෙන් ලබා දුන්හ.

කමල් සුරවීර