News

ඇප තැන්පතු පොලියෙන් විදුලි බිල හිලව් කරගන්න-විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය

විදුලි පාරිභෝගික ඇප තැන්පතු සඳහා එකතු කර ඇති පොලියෙන් විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල්පත් හිලව් කර ගන්නා ලෙස විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

එහි ජාතික ලේකම් සංජීව ධම්මික පැවැසුවේ ශ්‍රී ලංකා විදුලි බල පනත මගින් මෙම පොලී ක්‍රමය හඳුන්වා දී ඇති බවයි. කලින් කලට ගෙවිය යුතු පොලිය කුමක්ද යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමත කර ඇත. 2018 වසරේ පොලියද ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ වෙතත් පසුගිය දස වසර තුළදී එකම වසරක් සඳහා හෝ මෙම තැන්පතු පොලිය ලංකා විදුලිබල මණ්ඩලය හෝ විදුලි පාරිභෝගික සමාගම පාරිභෝගිකයන්ට ගෙවා නොමැත. මේ වනවිට ඇප තැන්පතු හා පොලී ප්‍රමාණය රුපියල් කෝටි 2300ක් පමණ වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර ඇත.

මේ අතර විදුලි පාරිභෝගිකයන් සඳහා අප්‍රේල් සහ මැයි මාසයේ විදුලි බිල්පත වෙන වෙනම ලබා දෙමින් බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අද (12 වැනිදා) දැනුම් දෙයි.

විදුලි ඒකක අඩු වශයෙන් භාවිත කර ඇති පාරිභෝගිකයන්ට සහනදායි ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව ද කොමිෂන් සභාව තීරණය කර ඇත. විදුලි බිල්පත් ගෙවීම අවසන් කරන තුරු විදුලිය විසන්ධි නොකරන ලෙසත්, දඩ මුදල් සහ ​පොලිය අය නොකරන ලෙසත්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට හා ලංකා විදුලි පෞද්ගලික සමාගමට දැනුම් දීමට නියමිතය.

මෙම නිර්දේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ විසින් අද (12 වැනිදා) දින යොමු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

 

උදයජීව ඒකනායක