“ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්රදානය හෙට
ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2020 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් සඳහා සංකේතාත්මකව ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 10.30 ට ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් 2006 වසරේදී ආරම්භ කළ මෙම ශිෂ්‍යත්ව වැඩ පිළිවෙල මේ වන විට අඛණ්ඩව වසර 13ක් ක්‍රියාත්මක කළ බව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18-55 ත් අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.
උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබාදේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්රයට අදාළව පාඨමාලා හැදෑරිය හැක.
නැවත අය කර නොගන්නා පදනම මත ලබාදෙන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5 ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.
ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50% ක් පාඨමාලාව ආරම්භයේදී පළවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදු කරයි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් පත් කරනු ලබන තේරීම් කමිටුවක් විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ප්‍රතිලාභීන් තෝරාගනු ලැබිණ.
මෙවර ශිෂ්‍යත්වයට අයදුම්කළ ජනමාධ්‍යවේදීන් අතරින් සුදුසුකම් සම්පූර්ණකළ සියලුදෙනා සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව, ජනමාධ්‍යවේදීන් 85 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.
