News

ඉංජිනේරුවා කෝටි 2කට තට්ටු කරයි

රත්මලානේ උකස් මධ්‍යස්ථානයකින් රුපියල් කෝටි දෙකකට ආසන්න ස්වර්ණාභාරණ හා ජංගම දුරකථන සොරකම් කළැයි මෘදුකාංග ඉංජිනේරුවකු සහ ප්‍රධාන පෙළේ ආයතනයක ශාඛා කළමනාකාරවරියක ගල්කිස්ස පොලිසිය මගින් ඊයේ (31 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙතෙක් කරන ලද විමර්ශනවලදී ඔවුන් සොරකම් කරන ලද රත්තරන් පවුම් 54ක් හා රුපියල් දසලක්ෂ පනස්හතර දහසක මුදල් සොයාගත් බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න ‘අරුණ’ට පැවැසීය.

රත්මලානේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි උකස් මධ්‍යස්ථානයට වහලින් බැස මෙම සොරකම කර ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවා බව හෙළි වී ඇත. ඔහු විසි එක් හැවිරිදි තරුණයෙකි. මෙම සොරකම පසුගිය 24 වැනිදා රාත්‍රී සිදුවී ඇත.

සැකකාර තරුණයා සේවය කර ඇත්තේ ගල්කිස්සේ ප්‍රධාන පෙළේ ගෘහ විදුලි උපකරණ බෙදාහරින ආයතනයකය.

එම ආයතනයේ ශාඛා කළමනාකාරවරිය වූ දැනට අත්අඩංගුවේ පසුවන කාන්තාව මෙම තරුණයා සමග සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

සොරකම් කරන ලද භාණ්ඩ ස්වර්ණාභරණ වෙළෙඳසල්වලට උකස් කිරීම සඳහා තරුණයා සමග මෙම කාන්තාවත් ගොස් තිබේ.

එලෙස උකස් කර ලබාගත් මුදල්වලින් කාන්තාව හා තරුණයා වාහනවල ෆිනෑන්ස් වාරික ගෙවා එදිනෙදා වියදම් පියවාගෙන ඇත.

ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෆීල් ප්‍රියන්ත හා අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලහකෝන් සිදුකළ විමර්ශනවලදී ඇපල් වර්ගයේ ජංගම දුරකථන විකිණීමට යන මෙම තරුණයා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. එම තොරතුරු ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ හිතවතියද පොලිස් භාරයට ගෙන තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා, දර්ශාන් කානිල් – මොරටුව