ඉන්ධන මත පනවා තිබූ අධිභාරය ඉවතට
ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය ඉවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව ජූනි මස 23 වන දින රාත්‍රීයේ සිට මෙම අධිභාරය ඉවත් කර තිබේ.
ලෝක වෙළෙඳපළ තුළ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමේ අදහසක් නැති බවද අමාත්‍යවරයා පැවසීය.
ඉන්ධන අධිභාරය ඉවත් කිරීම මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවන පාඩුව පෙට්‍රල් ලීටරයකට රුපියල් 35කටත් වඩා වැඩිවන අතර, ඩීසල් ලීටරයකින් සිදුවන පාඩුව රු. 25ක් පමණ වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය මාස දෙක තුන තුළ ලෝක වෙළෙඳපළෙහි ඉන්ධන මිල පහළ යාම තාවකාලිකව සිදු වූවක් වන අතර කොවිඩ් 19 නිසා ලෝකයේ බොහෝ රටවල් විසින් පනවා තිබු සීමාවන් ඉවත් කිරීමත් සමග වරක් ඉන්ධන මිල ඉහළ යමින් ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.
එම අවස්ථාවේ මිල අවම වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමක් සිදු නොකළේ, ඉන්ධන මිල ඉහළ ගිය පසු නැවතත් මිල වැඩි කිරීමට සිදුවන නිසා බව කී අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද, මෙම වසර අවසානය වන තෙක් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමක් කිසිදු අයුරකින් සිදු නොකරන බව ද සඳහන් කළේය.
ඉන්ධන අධිභාරය පැනවීමේ වාසිය මහජනතාවට ලබා දීම රජයේ අරමුණ බව ද හෙතෙම අවධාරණය කළේය.
