News

ඉරිතලා ගිය තවත් ගොඩනැගිල්ලක්

 

කඩ කාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලක ඇතිව තිබෙන ඉරිතැලිම් කිහිපයක් හේතුවෙන් එහි වෙළෙඳ ආයතන වසා දැමීමට හෙම්මාතගම පොලීසිය විසින් අද (22) දැනුම්දීමක් කර ඇත.

හෙම්මාතගම, අරණායක ප්‍රධාන මාර්ගය අසල පිහිටි එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් ලබා ගන්නා තෙක් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, වසම භාර ග්‍රාම නිලධාරී ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට ගොස් ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹ තිබෙනවා.

මෙම තෙමහල් ගොඩනැගිල්ල, නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප්‍රධාන ගේට්ටුව අසල පිහිටීම හේතුවෙන් එහි අවධානම තවත් තීව්‍ර වී තිබෙනවා.

ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීම වැළැක්විමට එම ස්ථානයට පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව හෙම්මාතගම පොලීසිය සඳහන් කරනවා.

ගොඩනැගිල්ලේ ඉරිතැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර, ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණු කිහිපයක් සෙලවිය හැකි බව ද එහි පැමිණි නිලධාරින්ට දැකගත හැකිව තිබෙනවා.

තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර උපකාරක පංති පැවැත්වීම් කර තිබෙන බව සඳහන්.

පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්වීම් සිදුනොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා මේ වනවිට වසා දමා තිබෙනවා.