උකුස්සන්ව අල්ල ගන්න මාළු දෙන්න අපි ලෑස්ති නෑ-ඇමැති ප්‍රසන්න
හිටපු ජනාධිපතිවරයාට නැවත උකුසු සෙල්ලම් දාන්න ඉඩ නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම අපගේ වගකීම බව සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.
‘‘මහින්ද රටේ නායකත්වයට පත්කිරීම සඳහා එදා අපි ආරම්භ කරපු සටනේ අවසන් මෙහෙයුම තමයි මේ මැතිවරණය. අවුරුදු තුනක්, හතරහමාරක් මම මේ වෙනුවෙන් දුක් වින්දා. මේ රටට ආදරය කරන මිනිසුන් දුක් වින්දා. අපිව හැමදාම එෆ්.සී.අයි.ඩී. ගෙනිච්චා. අපි වැරදි කරලා නැති නිසා බයවුණේ නෑ. මම හැමදාම හෘද සාක්ෂියට එකඟව වැඩ කරපු මිනිහෙක්. අපිට තනතුරු, වරප්‍රසාද දෙන්න අඬ ගැහුවා. ඒත් අපි මහින්ද මහත්තයාව දාලා ගියේ නෑ.
මහින්ද මහත්තයාව අගමැති කරලා අපි හදන්නේ නීතිගරුක රටක්. සැමට එක සමාන රටක්, එක නීතියක්. ඒකට නායකත්වය දෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා සමග මහින්ද අගමැතිවරයා. වසර තිහක යුද්ධය අවසන් කරලා රට ගොඩනගන වැඩපිළිවෙළක් සකස් කළා. ඒ වැඩපිළිවෙළ 2015 දී අතරමගදී නතර කෙරුණා. ඒ සංවර්ධනය නැවත රට තුළ ඇති කරන්නයි අපි ආණ්ඩුවක් පිහිටුවන්න බලය ඉල්ලන්නේ. සමහරු අහනවා ගෝඨාභය ජනාධිපති වෙලා මාස අටයි මොනාද කළේ කියලා. ගෝඨාභය මහත්තයා බලයට පත්වෙලා මාස අටක් වුණත් පළමුවැනි මාස තුන එජාප බහුතර බලයක් සමගයි අපිට ආණ්ඩුව ගෙනියන්න වුණේ. එජාපය කළේ ඒ කාලයේ ආණ්ඩුවේ කකුලෙන් ඇදීමයි. ඊට පස්සේ පහුගිය කාලය තුළ කොරෝනා වසංගතය නිසා රටේ ජනතාව රැක බලාගන්න කාලය ගත වුණා. බැරි වෙලාවත් රනිල් – මෛත්‍රි ජෝඩුව කොරෝනා කාලේ බලයේ හිටියා නම් මේ රටේ හැම ගෙදරකටම සුදු කොඩි දාන්න වෙනවා. රටේ මිනී කඳු ගොඩ ගැහෙනවා. රට තුළ සමූහ මිනී වළවල් හැදෙනවා.
රටේ ජනතාවගේ වාසනාවට තමයි පහුගිය ජනාධිපතිවරණයේදී මේ යහපාලන නාඩගම ඉවර වුණේ. දැන් ආපහු වතාවක් මේ නාඩගම රඟ දක්වන්න ලෑස්ති වෙනවා. මේ පාර මහ මැතිවරණයෙන් මේ යහපාලන නඩය සම්පූර්ණයෙන්ම කුජීත වෙනවා.
පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ගෙනාපු රට වනසන අණ පනත් සියල්ල අගෝස්තු 5 වැනිදා පත්වන අපේ ආණ්ඩුව විසින් අහෝසි කරනවා. රටටත්, ජනතාවටත් අහිතකර මේ අණ පනත් තවදුරටත් පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය නෑ. මේ අණ පනත් අහෝසි කරන්න අපට තුනෙන් දෙකක බහුතර බලය සහිත ආණ්ඩුවක් අවශ්‍යයි.
මතකනේ මෛත්‍රි කිව්වා උකුසු කතාවක්. මෛත්‍රි උකුස්සා ලෑස්ති වෙන්නේ මොකාටද කියලා අපි හොඳ අවධානයෙන් ඉන්නේ. උකුස්සන්ට අල්ල ගන්න අපි මාළු දෙන්න ලෑස්ති නෑ. මෛත්‍රිපාල හිටපු ජනාධිපතිවරයාට නැවත උකුසු සෙල්ලම් දාන්න ඉඩ නොදෙන පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමයි අපේ වගකීම. ඒ වගකීම ඉටු කරන්න අපි සූදානම් ඒ නිසා පොහොට්ටුව අතහැර නොගිය පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. වසර හතරක්, පහක් දුක් විඳපු අපිට නැවත වළේ වැටෙන්න බෑ.’’
