එක්සත් අරාබි එමීරයේ පළමු අඟහරු ගමනට සියල්ල සූදානම්
අඟහරු වෙත සිදුකෙරෙන පළමු ‘අරාබි අභ්‍යවකාශ මෙහෙයුමට’ අදාළ අභ්‍යවකාශ ගමන ඉදිරි සති කිහිපය ඇතුළත ආරම්භ කිරීමට නියමිතය.
යානය සඳහා ඉන්ධන පිරවීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මෙම අභ්‍යවකාශ යානය අඟහරු වෙත ළඟාවීමට කිලෝමීටර් මිලියන 493ක් ගමන් කර එහි කක්ෂගත වීමට මාස 7ක කාලයක් ගතවනු ඇත.
දත්ත රැස්කිරීම සඳහා මෙම පරීක්ෂණ යානය අඟහරු ග්‍රහයා වටා දින 687ක් පුරා රැඳී සිටීමට නියමිතය. යානයට අඟහරු වටා එක් වරක් කක්ෂයේ ගමන් කිරීමට ගත වෙතැයි අපේක්ෂිත කාලය පැය 55කි.
ඊයේ (9 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම අභ්‍යවකාශ වැඩසටහනේ අධ්‍යක්ෂිකා සාරා අල් අමරි පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය තරුණ අරාබි විද්‍යාඥයන්ට අභ්‍යවකාශ ඉංජිනේරු වෘත්තිය ආරම්භ කිරීමට විශාල දිරිගැන්වීමක් වනු ඇති බවයි.
‘බලාපොරොත්තුව’ (Hope) යන අර්ථය ඇති ‘අමල්’ යනුවෙන් නම් කර ඇති මෙම සම්පූර්ණ ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානය ලබන ජූලි 14 වැනිදා ජපානයට අයත් දූපතක් වන ටෙතෙගෂිමා සිට දියත් කිරීමට නියමිතය. ජපානයට අයත් රොකට්ටුවකින් බලගැන්වෙන එය අඟහරුගේ වායුගෝලයේ සංකීර්ණ සැකැස්ම මැනීම සඳහා සංවේදක වර්ග 3ක් රැගෙන යනු ඇත. මේවාට ග්‍රහලෝකයේ දූවිලි සහ ඕසෝන් තත්ත්වය මැනීම සඳහා භාවිත කෙරෙන අධි විභේදන බහුවිධ කැමරාවක්ද ඇතුළත් වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අභ්‍යවකාශ ගමන් පිළිබඳ පූර්ව වාර්තාවන් ඇත. එරට විසින් මීට පෙර රොකට්ටු කිහිපයක් පෘථිවි කක්ෂයට යොමුකර ඇති අතර එරට එක් ගගනගාමියකු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවා ඇත.
