News

ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත 70%කින් සාර්ථකයි

මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව අද (23) වාර්තා විණි.

එය ජයග්‍රහණයක් සේම බලාපොරොත්තු සුන්වීමක් ලෙසද අර්ථ දැක්විය හැකිය. ඒ, ෆයිසර් සහ මොඩර්නා යන අමෙරිකානු සමාගම් නිපදවා ඇති එන්නත් 95%ක් සාර්ථක බව හඳුනාගැනීම හේතුවෙනි.

නමුත් අනෙක් එන්නත් හා සාපේක්ෂව ඔක්ස්ෆර්ඩ් එන්නත මිලෙන් අඩු වීමත්, පහසුවෙන් ගබඩා කළ හැකි වීමත් සහ ලොව ඕනෑම තැනකට පහසුවෙන් මෙම එන්නත් තොග ප්‍රවාහනය කළ හැකිවීම ද විශේෂත්වයක් ලෙස සැලකේ.

නියාමන ආයතන විසින් මෙම එන්නත අනුමත කළ පසු කොවිඩ් පාලනයට එය වැදගත් මෙහෙයක් සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම එන්නත වැඩිදියුණු කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයින් ට මාස 10ක කාලයක් ගතවී තිබේ. සාමාන්‍යයෙන් එම ක්‍රියාවලිය ට වසර 10ක් පමණ ගතවේ.

එංගලන්තය මේවනවිට ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර තිබේ. එය මිලියන 50ක පිරිසක් සඳහා ප්‍රතිශක්තිය ඇති කිරීමට යොදාගත හැකිය.