කන්දකාඩුවට ආගිය පිරිස් හදුනා ගන්න මෙහෙයුම්
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා ගිය උපදේශකයන් ඇතුළු කාර්ය මණ්ඩලයත්, රැඳවූවන් බැලීමට පැමිණි පවුලේ සාමාජිකයන් 500ක් පමණ හඳුනා ගැනීමට ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමක් ඊයේ (9 වැනිදා) ආරම්භ කෙරිණි.
මෙම පිරිස් හඳුනාගෙන ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක හා බුද්ධි අංශ ප්‍රධානීන් ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ (9 වැනිදා) පස්වරුවේ කැඳවා විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත.
මේ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා ගිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා ඔවුන්ගේ නිවෙස්වලටම රඳවා ස්වයං නිරෝධායනයට ලක් කිරීම බුද්ධි අංශ විසින් කටයුතු කර තිබිණි.
එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ පනස් දෙනකු නිවාඩු ගොස් ඇති අතර ඉකුත් 04 වැනිදා රැඳවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වල පන්සියයක් පමණ එහි පැමිණ සිට ඇත.
එම සියලු දෙනාගේ නම් සහ ලිපින ඇතුළත් වාර්තා පවත්වාගෙන ගොස් අති බැවින් එම පිරිස්වලට නිවෙස් තුළම රැඳී සිටින ලෙස දන්වා ඇත. මෙම පුද්ගලයන් ආගිය තැන් හා ඇසුරු කළ අය හඳුනාගැනීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
