කැළණියේ සිට අම්මාගේ මල ගෙදර ගිය දියණියට කොවිඩ්
ගම්පොළ, පුපුරැස්ස පොලිස් වසමට අයත් ස්ටෙලන්බර්ග් වතුයායේ ඉහළ කොටසේ පදිංචි කාන්තාවකට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.
එම කාන්තාව කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන අතර, පසුගිය දෙසැම්බර් 7 වන දින ඇයගේ පීසීආර් පරීක්ෂාවක් සිදුකර ඇත.
ඇයගේ මව දෙසැම්බර් මස 8 වන දින මියයෑම හේතුවෙන් එම කාන්තාව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් නොකර කැලණියේ සිට ත්‍රීරෝද රථයක නැග සිය නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.
මවගේ අවසන් කටයුතු ඊයේ (09) දින සිදුකර ඇති අතර පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව ඇය ආසාදිත බවට ඊයේ තහවුරු වී තිබේ.
අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වු පවුල් 60ක පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර, ආසාදිත කාන්තාව සමීපව ඇසුරු කළ පවුල් 6ක් පමණ මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.
ආසාදිත කාන්තාව මේ වන විට පැනිදෙණිය ප්‍රදේශයේ නිරෝධායනය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ.
