කුඹුරක තිබූ මෝටාර් උණ්ඩය
වවුනියාව, ඕමන්ත අරසමුරිප්පු ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මිලිමීටර 180 වර්ගයේ පුපුරා නොගිය මෝටාර් උණ්ඩයක් ඊයේ (22 වැනිදා) සොයාගත් බව ඕමන්ත පොලිසිය පැවැසීය.
පොලිස් රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී කුඹුරක පිහිටි ගසක් පාමුල තිබී අදාළ මෝටාර් උණ්ඩය හමුව ඇත. යුද සමයේදී නැවත ප්‍රයෝජනයට ගැනීම උදෙසා එල්.ටී.ටී.ඊ. සංවිධානය සඟවා ගිය මෝටාර් උණ්ඩයක් එලෙස හමුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
මෝටාර් උණ්ඩ හමුවූ ස්ථානයේ තවත් පුපුරණ ද්‍රව්‍ය ඇත්දැයි පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විශේෂ සෝදිසි කිරීමකට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සොයාගත් මෝටාර් උණ්ඩය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මාධව කුලසූරිය -වවුනියාව
