News

කුස්සියේ වතුර භාජනයට වැටී බිළිඳා මරුට

මුළුතැන්ගෙයි තිබූ වතුර භාජනයකට ඇද වැටී වතුර පෙවීම නිසා මාස 11 ක් සහ දින 14 ක් වයසැති නිවුන් බිලිඳකු මියගොස් ඇත. එසේ මියගොස් ඇත්තේ තරුෂ සදෙව් කුමාර නමැති කුඹුක්කන මොණරාගල ප්‍රදේශයේ බිලිඳෙකි.

බිලිඳාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න විසින් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබීය.

මියගිය බිලිඳාගේ මව වන කොනාරාල මුදියන්සේලාගේ චන්ද්‍ර කුමාරි (30) නමැත්තිය එහිදී සාක්ෂි දෙමින් මෙසේ පැවැසුවාය.

‘‘මියගොස් තිබෙන්නේ අපේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙක්. මගේ සැමියා ගොවිතැන් කරනවා. සැමියා උදෑසන ගොවිතැන් වැඩට ගිහින් දවල් ගෙදර ඇවිත් කෑම කෑවා. මම වළං හෝදන්න නිවසින් එළියට ආවා. අපේ ගෙදර කුස්සියේ වතුර භාජන තුනක් තියෙනවා. ලොකු පුතාට මල්ලිලා බලන්න කියලයි මම වළං හෝදන්න ගියේ.

ඒ වැඩේ ඉවර වෙලා ඇවිත් බලනකොට දරුවා වතුර භාජනයේ වැටිලා ඉන්නවා මම දැක්කා. මම කෑගහලා දරුවා වතුරෙන් උඩට ගත්තා. ඊට පස්සේ දරුවා ඔක්කම්පිටිය රෝහලට රැගෙන ගියා. එහිදී කෘත්‍රිම ශ්වසනය ලබාදී අවශ්‍ය ප්‍රතිකාර කළා. දරුවා හුස්ම ගත්තා. දෙවනුව සිරිගල රෝහලට රැගෙන ගියා. එදා රෑ කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කළා. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගියා. මරණය ගැන සැකයක් නැහැ. දියේ වැටීම නිසා දරුවා මියගිය බව විශ්වාස කරනවා.

බිළිඳාගේ පියා වන තෙම්මා යද්දෙණියගේ තිලක් ඉන්දික (37) නමැත්තා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.

‘‘මියගොස් ඇත්තේ මගේ නිවුන් දරුවන්ගෙන් එක් අයෙක්. මම හැමදාම කුඹුරු වැඩවලට එළියට යනවා. එදත් උදේ කුඹුරට ගිහින් දවල් කෑමට ගෙදර ආවා. දරුවාගේ කොණ්ඩය කපන්න පහුවදා නැකතක් යෙදී තිබුණු නිසා මම මුදල් සොයන්න සවස 4.30ට විතර ගෙදරින් ගියා. බිරිඳ වළං සේදීමට එළියට ගොස් තිබෙනවා. ඒ අතර දරුවා වතුර භාජනයකට වැටී ඇති බව දැනගත්තා.’’

ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා වතුර පෙවීම නිසා මොළය සහ සිරුරේ විවිධ කොටස් අකර්මණ්‍ය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බවට තීන්දු කළේය.