News

කොරෝනාවෙන් කොළඹට රතු එළියක්

කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ගම්පහ මතු වූ තර්ජනය සහ අවදානම අද වන විට කොළඹට යම් මට්ටමකින් පැමිණ තිබෙන බවයි ඔහු ප්‍රකාශ කරයි.

විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව තුළ පසුගිය දින කිහිපය තුළ දෛනිකව රෝගීන් 200කට වැඩි ගණනක් වාර්තාවෙන අතර විශේෂයෙන් අලුත් අවදානම් ස්ථාන පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වෙමින් තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඉදිකිරීම් ස්ථාන පිළිබඳ විශේෂ අවදානමක් මතු වී ඇති බවත් එය බැරෑරුම්ව සැළකිය යුතු තත්ත්වයක් යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.