News

කොරෝනා නිසා ලෝකෙන් බාගෙකට රැකියා අහිමි වෙයි!

ලෝකයේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් හරි අඩකට කොරෝනා වසංගතය නිසා සිය රැකියා අහිමිව යා හැකි බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි.

ලොව සමස්ත ශ්‍රමිකයින් සංඛ්‍යාව සැලකෙන්නේ බිලියන 3.3 ක් වශයෙනි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙන්නේ එයින් බිලියන 1.6 ක් තරම් සංඛ්‍යාවක් රැකියා විරහිත තත්ත්වයට පත්වීමේ අවදානමක් මතුව ඇති බවයි.

විශේෂයෙන් අවිධිමත් අංශයෙහි සේවය කරන ශ්‍රමිකයින් මෙහි දී වැඩිම බලපෑමකට ලක්වනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

තම ආදායම් මාර්ග අහිමිවන මෙවැනි ශ්‍රමිකයින් වැඩි පිරිසකට ආහාර, සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා පවා සපයා ගැනීම අසීරු වනු ඇත.

ඉතිරි කළ මුදල් ආදිය පවා නොමැති මේ බොහෝ දෙනා රැකියා අහිමි වීමත් සමග පත්වන අසරණ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔවුන්ට උදව් කළ හැකි ක්‍රමවේදයක් වහා ඇති කර නොගතහොත් ඉතා ඛේදනීය තත්ත්වයක් ඇති වනු ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ගයි රයිඩර් සඳහන් කරයි.

මේ අතර විවිධ වෘත්තීය සමිති සංවිධාන අවධාරණය කරන්නේ ශ්‍රමිකයින් මුහුණ දෙන මෙම අර්බුදය විසඳීම සඳහා ගෝලීය මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය වනු ඇති බවයි.

 

සහන් වික්‍රමගේ