News

කොරෝනා නිසා ළමයින්ට මානසික ආතතිය

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග දරුවන් සැලකිය යුතු පිරිසක් මේ වන විට මානසික ආතතියට පත්ව ඇති බව තහවුරු වී තිබේ.

ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සඳහා සියලුම රජයේ රෝහල්වල මනෝ වෛද්‍යවරුන් සූදානමින් සිටින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් විය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගනගේ සඳහන් කරයි.

වසංගතය පහව ගොස් ජන ජීවිතය රටාව යථා තත්ත්වයට පත්වන විට එම මානසික ආතති තත්ත්වය මගහැරී යනු ඇතැයිද එසේ නොවුණහොත් එවැනි දරුවන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයැයිද ඇය පැවසුවාය.

රට තුළ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නිවෙස් තුළ සිරවී සිටින දරුවන් තමන්ගේ හිතේ පවතින අසහනකාරී තත්ත්වයන් පාලනය කිරීමට මුරණ්ඩුකම් හා අකීකරුකම් ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන ඇති අතර තවත් දරුවන් හීනෙන් බියවීම හා කෑ ගැසීමට පුරුදුව සිටින බව ඇය පෙන්වාදේ.

මෙම තත්ත්වයන් ඇතිවන්නේ කොරෝනා රෝගය හේතුවෙන් තමන් මෙන්ම තම දෙමාපියන්ද අනාරක්ෂිත යැයි ඔවුන්ට හැඟී යන නිසා වන අතර ඔවුන් අනාරක්ෂිත නොවන බව ඇඟවීමට දෙමාපියන් හැම විටම කටයුතු කළ යුතු අතරම වසංගත තත්ත්වයන් පිළිබඳව දරුවා ඉදිරිපිට කිසිවක් කතා නොකර සිටීමට දෙමාපියන් වගබලා ගන්නේ නම් එය ඉතා වැදගත් යැයිද විශේෂඥවරිය සඳහන් කළාය.

 

ශ්‍රියානි විජේසිංහ