News

කොරෝනා හඳුනගන්න අළුත් පරික්ෂාවක්

කාන්තාවක් ගර්භණී භාවයට පත්ව ඇත්ද යන්න හඳුනා ගැනීමට ඉතා සරල පරීක්ෂාවක් මේ වනවිට භාවිතයට ගනු ලැබේ. එම පරික්ෂාව, කඩදාසි විශේෂයක් යොදාගෙන කෙරෙන පරීක්ෂාවකි.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමටත් ඒ සමාන පරීක්ෂාවක් සොයා ගන්නට ඉන්දියාවේ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. එම පරික්ෂාවට පදනම් වී ඇත්තේ ජාන සංස්කරණයට යොදා ගන්නා ක්‍රිස්පර් (Crispr) තාක්ෂණයමය. නව පරික්ෂාව නම් කර තිබෙන්නේ ‘ෆෙලූඩා’ (Feluda) පරික්ෂාව යනුවෙනි.

‘ෆෙලූඩා’ පරික්ෂාවට රෝගීන්ගෙන් සාම්පල ලබාගන්නේ පී.සී.ආර්. පරික්ෂාවට අවශ්‍ය සාම්පල ලබාගන්නා ආකාරයටමය. මෙම පරීක්ෂාව හඳුන්වා දී තිබෙන්නේ ඉන්දියාවේ දිල්ලි අගනුවර පිහිටි ඉන්ස්ටිටියුට් ඔෆ් ජීනෝමික්ස් ඇන්ඩ් ඉන්ටර්ග්‍රේටිව් බයලොජි නමැති ආයතනයයි.

‘ෆෙලූඩා’ පරික්ෂාව පහසුකම් අඩු ඉතා කුඩා පරීක්ෂණාගාරයක වුව සිදු කළ හැකි බව විද්‍යාඥයෝ පවසති. එක් පරීක්ෂාවක් සඳහා පැයකට ආසන්න කාලයක් ගතවේ. පරීක්ෂාවකට වැය වන්නේ ඉන්දීය රුපියල් 500ක පමණ මුදලකි. පරීක්ෂණයෙන් ලබාදෙන ප්‍රතිඵලවල නිරවද්‍යතාවද ඉහළ මට්ටමක පවතින බව සඳහන් වේ.

මංජුලා විජයරත්න