කොවිඩ් මරණ භූමදානයට අවසර ඉල්ලා සජබ මන්ත්‍රිවරුන් විරෝධතාවක
කොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී භූමදානයටද අවසර දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද(23) බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත විය.
‘බලහත්කාර ආදාහනය නවත්වනු‘ යන මැයෙන් කොවිඩ් ආසාදිත දේහයන් ආදාහනයට විරෝධය පළකරමින් මෙම විරෝධතාව පවත්වා ඇත.
කොවිඩ් වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකිරීමේදී මේවනවිට බරපතල ආකාරයෙන් මානව හිමිකම් උල්ලංඝණය වෙමින් පවතින බවයි විරෝධතාවට එක්ව සිටි මහජන නියෝජිතයින් පෙන්වා දී තිබේ.
ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන සිටින බවත් ඒ හරහා සමස්ත ජනවර්ගයාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නීති රෙගුලාසි මෙන්ම අපක්ෂපාතී කමිටු නිර්දේශ පවා ආණ්ඩුව නොතකා හරින බව පැවසූ ඒ මහතා, මෙය ජාතියක හෝ ආගමක ප්‍රශ්නයක් නොවන බවද පැවසීය.
“අද මේ රටේ කොවිඩ් – 19 මරණයට පත්වෙන අය අපරාධකාරයෝ හැටියට තමයි මේ ආණ්ඩුව සලකලා තියෙන්නේ. ඔවුන්ගේ ආගමික, සංස්කෘතික විශ්වාසයන්ට කිසිම ඉඩක් නොදී ආණ්ඩුව ඒ මරණ සිදුවුණාම එය පිළිගැනීමට බැරි විදියට ඥාතීන්ට එහෙම නැත්නම් නෑදෑ හිතවතුන්ට ඔවුන්ගේ අයිතිකරුවන්ට, කිසිදු කෙනෙකුට ඒ මරණ නොපෙන්වා බලහත්කාරයෙන් අරන් ගිහින් ආදාහනය කරන ක්‍රියාපිළිවෙතක් තමයි අද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තියෙන්නේ.“ යනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍ර මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

