කොළඹ නගර සීමාවේ ලයිෂන් නැති සැලෝන් රැසක් කොවිඩ් නිසා හෙළිවෙයි
කොළඹ මහ නගර සභා බල සීමාව තුළ රූපලාවණ්‍යාගාර සහ බාබර් සැලුන් රැසක් වලංගු වෙළෙඳ බලපත්‍රය ලබා නොගෙන වසර ගණනාවක් සේවා කටයුතු සිදුකර ඇති බව කොළඹ මහ නගර සභාව අනාවරණය කරගෙන ඇත.
රූපලාවණ්‍යාගාර සහ බාබර් සැලුන් යළි විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ සහතිකය ලබාගැනීමට සිදුවීමත් සමග මෙම තොරතුරු අනාවරණය වූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පැවසීය. රූපලාවණ්‍යාගාර සහ බාබර් සැලුන් හැත්තෑ පහක් පමණ මෙලෙස වලංගු වෙළෙඳ බලපත්‍රය ලබාගෙන නොමැති බව මේ වනවිට අනාවරණය වී ඇතැයි ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. වලංගු වෙළෙඳ බලපත්‍ර ලබාගැනීමේදී සෞඛ්‍ය වාර්තාව, කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු අනුමැතිය සහ නාගරික සැලසුම් අංශයේ අනුමැතිය ලබාගත යුතුය. මෙම රූපලාවණ්‍යාගාර සහ බාබර් සැලුන් සඳහා වලංගු වෙළෙඳ බලපත්‍ර ලබාගන්නා ලෙස දැනුම් දුන් බවද ඔහු අවධාරණය කර සිටියේය.
උදයජීව ඒකනායක
