News

කොළඹ වරායේ තවත් 200කට PCR පරීක්‍ෂණ

කොළඹ වරායේ මෙහෙයුම් අඛණ්ඩව හා ගුණාත්මකව පවත්වාගෙන යෑම සඳහා කැප වී සිටින සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිතව පවත්වාගෙන යෑම සඳහා අහඹු ලෙස තෝරාගත් 200කගේ නියැදියක් පෙරේදා(03) පීසීආර් පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

කොළඹ වරාය යාත‍්‍රා අංගන පරිශ‍්‍රයේ දී පැවැති මෙම පරික්ෂාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාරීත්වය විසින් අඛණ්ඩව එහි සේවක මහත්ම මහත්මීන්ගේ සහ වරාය භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත් තවත් එක් පියවරකි.

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුවන අතර රට පුරා උද්ගත වී ඇති අධි වසංගත තත්ත්වයෙන් වරායේ මෙහෙයුම් හා ඊට අදාළ සියලූම සේවාවන් සහ සම්බන්ධ වන සියලූම අයගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සඳහා සෑම පියවරක්ම ගෙන ඇත. එසේ ම සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක‍්‍රියාවට නංවා ඇත.

ඊයේ පැවැති පීසීආර් පරීක්ෂණ අවස්ථාවට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයා රත්නායක, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්) උපුල් ජයතිස්ස, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන යන මහත්වරුද එක් වූහ.