News

ගැලවුම්කාර සමාගමේ පිරිසක් නෞකාවට ඇතුළු වෙයි

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“ඉන්ධන නෞකාවට ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි.

නෞකාවේ ඇති වූ ගින්නේ තත්ත්වය තක්සේරු කිරීම සඳහා මෙම ගලවාගැනීමේ කණ්ඩායම නැවට ඇතුළු වී ඇත.

නැව ආසන්නයේ ටග් යාත්‍රාවක සිට පරීක්ෂණ ආරම්භ කළ විදේශීය විශේෂඥ කණ්ඩායමේ 3 දෙනෙකු නෞකාව මතට ගොඩ වූ බවය නාවික හමුදාව සඳහන් කරයි.

ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවත් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය වී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

නාවික සැතපුම් දෙකක පමණ ප්‍රදේශයක එම ඉන්ධන පැල්ලම විහිදී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා කිමිදුම්කරුවන් යොදා ගනිමින් පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති අතර නෞකාව මේ වන විට සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 41ක් දුරින් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් තිබේ.