News

චන්ද්‍රිකා ගාස්තු ගෙවන්න බෑ

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය වෙනුවෙන් ඉහළ දැමූ චන්ද්‍රිකා සේවා ගාස්තුව තමන්ට ගෙවීමට නොහැකි බව ධීවරයන් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

දැනට ගෙවන චන්ද්‍රිකා පහසුකම් ගාස්තුව රුපියල් 3111කි. එම ගාස්තුව රුපියල් 6405කින් වැඩි කර ඇති අතර ධීවරයන් ගෙවිය යුතු නව මුදල රුපියල් 9516ක් වෙයි.

2015 වර්ෂයේ දී ධීවර යාත්‍රා 1500ක් සඳහා යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ස්ථාපිත කර ඇත. ඒ සඳහා චන්ද්‍රිකා පහසුකම් පෞද්ගලික සමාගමකින් ලබාගත් අතර සමාගම විසින් චන්ද්‍රිකා ගාස්තුව වැඩි කර තිබේ. ධීවර යාත්‍රා මුහුදට ගිය පසු ගමන් කරන දිශාව සහ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා මෙම යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ස්ථාපිත කර ඇත.

උදයජීව ඒකනායක